මෑත කාලයේ සිදුවූ සිදුවීම් සහ ඒවාට සමහර දෙනා පල කල අදහස් අනුව අප රටක් වශයෙන් පත්ව ඇති තත්වය සහ එයට හේතු වූ කරුණු ලෙස මා දකිනා දේ මෙසේ ලියා තබන්නෙමි.

එදා අප රට ආසියාවේ මුතු ඇයට ලෙස හැඳින්වූ බවට සාක්‍ෂි ඕනෑවටත් වඩා ඇත. රොබර්ට් නොක්ස්ගේ, පාහියන් භික්‍ෂුවගේ සටහන් පමණක් නොව පසුකාලීනව අපගේ අපගමනය ගෙන කියැවෙන ආර්. එල්. ස්පිට්ල්ගේ සහ ලෙනාඞ් වුල්ෆ්ගේ පොත් වල මුලදී පවා රටේ පවතින ස්වයං පෝෂිත ජීවන රටාව සහ අපනයන තත්වයේ පැවති ආර්ථික ක‍්‍රමය ගෙන හෙලිදරව් වේ. එසේ පැවති ජාතියක් අද තෙල් නැවක් එනතෙක් බලා සිටීමටත්, සහල් හා සැමන් වැනි ද්‍රව්‍යය පවා ආනයනය කිරීමට තරම් පිටරටවල් මත යැපෙන්නට පත්ව ඇති තත්වයකට පත්වූයේ මක් නිසාද? එය කතා කිරීමට වටිනා කාරණයකි.

එදා අපට තිබූ ස්වයං පෝෂිත ජීවන රටාවේ නිර්මාණය ඈති අතීත රට දවස දක්වා දිව යයි. ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන නගර සංකල්පය ඔස්සේ ග‍්‍රාමීය පාලන රටාවක් ඇති කල අපේ ඒ සංකල්පය අද මුස්ලිම්වරුන් විසින් යොදාගෙන සාර්ථකව සමාජ රටාව ගොඩනගා ගනිමින් සිටියි. එදා ග‍්‍රාමීයව බෙදා වෙන් කෙරූ පාලන ප‍්‍රදේශයක, ඒ ප‍්‍රදේශයේ ඇති ස්වාභාවික සම්පත් හා ගම්වැසියන්ගේ හැකියාවන් මගින් ඒ ප‍්‍රදේශය සරුසාර කිරීමට ඔවුන්ට හැකි විය. උදාහරණයක් ලෙස, ගොවිතැනට සුදුසු භූමියේ ගොවිතැන් කරන පිරිස් මෙන්ම, ඒ හා බැඳුනු කම්මල්කරුවා ඊට උපකාරී වන ආයුධ නිපදවීමෙන් කර්මාන්ත ආශ‍්‍රිතව ගොඩනැගුණු සහ සම්බන්ධකමක් දකින්නට ලැබුණි. මේ කර්මාන්ත අතර සහ නිශ්පාදනය කරන ද්‍රව්‍ය අතර හුවමාරුව ඇතිවූයේ භාණ්ඩයේ වටිනාකමටය. භාණ්ඩ හුවමාරුවෙන් අපි සාධාරණ මුදල් වලට මාරු වුවත් අපගේ නිශ්පාදන ආර්ථිකය තරමක් අඩුතක්සේරු කිරීමකට ලක් විය.

අප රට අඩපණ කිරීමට පිටරැුටියන් යොදාගත් ක‍්‍රමයක් වන්නේ එකී රක්‍ෂා ක‍්‍රමයයි. එදා තමාගේ දක්‍ෂතාවය මගින් තමාටත් රටටත් දෙයක් බිහි කල නිශ්පාදන ආර්ථික රටාවට හුරුවූ කෙනාට වඩා උදේ සිට සවස් වන තුරා කර්මාන්තශාලාවක සේවය කරන කෙනාගේ ආදායම වැඩි වීම තුලින් රටේ තිබූ නිශ්පාදන ආර්ථික රටාව කෙමෙන් දුර්වල විය. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනුවූ කායික සහ මානසික දාරිතාවය අනුව කුල වශයෙන් බෙදා වෙන් කර, එකිනෙකාට විශේෂ වූ කර්මාන්ත පද්ධතියක් සහිතව ජීවත් වූ රටකට නොගැලපෙන ආර්ථික සහ වාණිජමය රාමුවක් රිංගවීමෙන් එහි තිබූ නිශ්පාදන ආර්ථික රටාව නැති වී ගියේය. මා ආර්ථික විශේෂඥයෙකුවත්, ගෝලීයකරණයට විරුද්ධව හණමිටි අදහස් ඇත්තෙකුවත් නොවේ. එහෙත්, අපගේ අභ්‍යන්තර ගුණයන් නැතිකර අළුත්ම තත්වයකට පත්වීමෙන් ඇතිවන පිලිකාවේ ආදීනව අද අප විඳිමින් සිටින්නෙමු. විදේශ රටවල් වල බලපෑම් නිසා අපට තනි තීරණයක් ගනීමට හැකියාවක් නැත. අද අප බුරුතු පිටින් භාවිතා කරන්නේ එවැනි පිටතින් එන දේවල්ය.

තමා වාසය කරන භූමිය හෝ දේශයේ දෑ පමණක් ආහාරයට සුදුසු බව බෞද්ධ දේශණාවක සඳහන්ව ඇතැයි මාගේ මිත‍්‍රයෙක් පැවසීය. අප උපන් තැන හෝ වාසය කරනා තැන ස්වභාව ධර්මයේ තීරණයක් මත ඇතිවන දෙයකි. එමෙන්ම අප ඉපදෙනා ඒ භූමියේ ඇති ආහාර රටාව හා ජීවන රටාවත් එහි සත්වයාට ගැලපෙන ආකාරයෙන් සැකසී ඇත. අප කවදාවත් තිරිඟු පිටි, සීනි හෝ රසකාරක ඇති ආහාර භුක්තිවිඳිමින් උදේ 9 සිට සවස 5 දක්වා මේසයක් පිටුපස හෝ අලෙවි කටයුතු පසුපස දුවමින් කාලය ගෙවන්නට සැකැසුනු ජාතියන් නොවෙමු. අපේ රටේ භූමි ප‍්‍රමාණයට සහ ජනගහනයට අදාලව සැකැසුනු කර්මාන්ත සහ රැුකියා අපට එදා පටන් උරුමව තිබුණෙමු. එහෙත් අප උත්හාස කලේ හැම විටෙම තමන් සතු දෑ නොසලකා හැර අන් අයගේ ජීවන රටාවක් ආදේශ කරගැනීමටය. අදත් අප කරන්නේ ඒ දේමය. රටක් දියුණුවිය යුතුය, එහෙත් එහි ඇති මූලික සහ අභ්‍යන්තර ගුණාංග නැති කරගනිමින් වෙනස්වීම තුලින් සිදුවන්නේ අපට අත්‍යාවශ්‍යය දෑ ලබා දෙන අයගේ බසට කීකරුව සිටීමටය.

අපගේ වැඩිහිටියන්ගේ සමහරක් එවැනි තීරණ නිසා අද අප මේ තත්වයේ සිටිමු. අපගෙන් පසුව මේ තත්වය වෙනස් නොවූවහොත් දැනට බිහිවන අළුත් සමාජයේ ආකල්ප වලින් ඉදිරියට ඇතිවන්නේ ඊටත් වඩා විනාශයකි. දැන්වත් නිවැරදි බීජ වපුරා අනාගතයේ ඒවායේ සාර්ථක ඵල වලින් මේ රට ගොඩනැගීමට කලාය එළඹ ඇත.