මේ කතාව ආරම්භය මාත් මාගේ ලඟම මිතුරෙක් වන සචිත සුදුගේත් අතර ඇති වූ කතාවකින්. දවස් කිහිපයක්ම මේ අදහස මාගේ සිතේ තෙරපෙමින් තිබූ අතර, ඒවා පිළිවෙලකට වචන වලට හරවා ගැනීමට යම් කාලයක් ගත විය. මෙහි කියැවෙන බොහෝ කරුණු වර්ෂ 1993 දක්වා උපන් අයට අමුතු දේවල් නොවූවත් ඔබ එතැනින් එහා උපන් අයෙක් නම් සමහර විටෙක මේ පවසන දේ තරමක් අමුතු දෙයක් වනු ඇත. එමෙන්ම වෙනදා ලියැවුණු දේට වඩා මෙය තරමක ඝෘණාත්මක ගතියක් ඇති ලිපියක් වීමට ඉඩ ඇති බව මුලින්ම සඳහන් කරන්නෙමි.

පරිණාමය මානව ඉතිහාසයේ වැදගත්ම සාධකයකි. යම් කිසි පිරිසක් පරිසරයට අනුව හැඩ නොගැසී පරිණාමය නොවන්නේ නම් එම පිරිස වඳවී යාම ස්වභාව ධර්මයේම නීතියකි. එහෙත් සමාජයේ, පරිසරයේ මෙන්ම හැම අතින්ම වෙන වෙනස්කම් වලට මැදිව පිරිසක් නතර වුණහොත් ඔවුන්ට ඇතිවන්නේ වෙනමම ඉරණමකි. 1970 සිට 1990 මුල් භාගය දක්වා ලෝකය විවිධාකාර වෙනස්කම් රාශියකට මුහුණදුන් අවධියකි. මෙරට පවා තිබුණේ වෙනස්ම ආකාරයට ජීවන රටාවකි. පොත පත පරිශීලණය කරන, ජීවිතයේ තමන්ටම ආවේණික වූ ඇවතුම් පැවතුම් ඇති, ගරුත්වය සහ අවධානම කළමණාකරනය මනාව ප‍්‍රගුණ කල මේ යුගයේ මිනිසුන් සමාජයට ලබා දුන් දේ බොහෝය. මා එම අවධියට ස්වර්ණමය යුගයක් යැයි පවසන්නේ එකී ජීවන රටාව නිසාවෙනි. බුද්ධිමය අතින් අප ලෝකය සමග කරට කර සිටිය හැකි තරමේ මානසික මට්ටමක් සමාජයේ විය. යම් කෙනෙක්ට මේ පිළිබඳව සම්පූර්ණයෙන් විරුද්ධ වීමට හේතු කාරණා තිබිය හැක. යුද්ධය, දේශපාලනය, ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය වැනි හේතූන් නිසාවෙන් මේ අවධිය කියනා තරම් හොඳක් නැති බව පැවසිය හැකිය. ඒ අදහසට මා කිසිවක් නොපවසමි. ජීවිතයේ හැම දෙයක්ම සර්ව සාධාරණ නැත. මාර්ටින් වික‍්‍රමසිංහ මහතා ගම්පෙරලිය, කලියුගය සහ යුගාන්තය නවකතා වල පවසන්නේ්ත් මේ සමාජ විපර්යාසයේ ප‍්‍රතිපලයයි. එහෙත් මම මාගේ කතාවෙන් මෙහි සඳහන් කරන්නේ එකී සමාජ විපරියාසය මට දැනුනු ආකාරයයි.

තවමත් ඔබට මා පවසන දේ අපහැදිලි නම් මා ඔබට දෙයක් පවසමි. නිතර ජනයා හැසිරෙන තැනක කොල්ලන් පිරිසක් සෙල්ෆි ගහනවා දුටු විට ඔබට අමුත්තක් නොදැනේද? කාන්තාවක් වූ පමණින් තමාට විශේෂ සැලකිල්ලක් හිමිවිය යුතු යැයි සිතනා කාන්තාවන්ට සවන්දීමට සිදුවීම ප‍්‍රශ්ණයක් නොවේද? සමාජයේ මට්ටම් වලින් මිනිසුන් මනිනා ආකාරය ගෙන ඔබට ගැටළුවක් නැද්ද? එසේ නම් කරුණාකර මේ ලිපිය ඔබට අදාල නොවන බව සලකන්න.

මා හැදී වැඩුනේ තරමක මිලිටරි පාලනයක් තිබූ පියෙක් යටතේය. ඔහු හමුදාවට සම්බන්ධයක් නොතිබුණත්, ඔහු මා හට යම් යමු දෑ පුරුදු කලේ ඉතා තද නීති යටතේය. වෙනත් සාමාන්‍යය ළමයින් සෙල්ලම් කරද්දී ඔහු මාව පොත් කියවීමට පෙළඹවීය. වෙනත් ළමුන් දහම්පාසල් යද්දී ඔහු මට හුරු කලේ තමන් තුලින් ධර්මය දකිනා ලෙසය. කවදාවත් ඔහු මට පාඩම් කිරීමට බල කලේ නැත. එහෙත් පන්තියේ මාගේ ළකුණු හොඳ තත්වයක තිබීම අනිවාර්්‍යය විය. මා සමඟ ආශ‍්‍රය කල මිතුරන් පවා අමුතුම පිරිසකි. අදත් මිතුරන් තෝරාගැනීමේදී එවැනි සම චින්තනයක් තිබුණු අය මා සමග දිගු කාලීනව රැඳුනු බව පැවසිය යුතුය. නිවස තුල තිබූ ඒ මිලිටරි පාලනයත්, නිතර අසන්නට ලැබුණු පැරණි ගීතත්, පරිහරණයට ලැබුණු පැරණි පොත් පත් සමග දිවි ගෙවූ මා හට තිබූ එකම බාහිර පිළිසරණ මාගේ මව විය. එකල කාන්තාවන් රැකියා වලට යෑම ආරම්භ කල මුල් කාලයයි. මගේ මව කරමින් සිටි රැකියාව නවතා මාගේ දිවියේ යහපත වෙනුවෙන් ඇගේ දිවිය කැප කලේය. ඇය අද කාලයේ බොහෝ අම්මලා මෙන් ස්වාධීන නැත, ස්ත‍්‍රීවාදී නැත. එහෙත් එකී ලක්‍ෂණ ඇති කිසිම ගැහැණියකට ගරු නොකරන මා ඇයට ගරු කරන්නට තරම් ගුණයක් ඇය තුල විය.

යමක් කමක් තේරෙනා වයසට පැමිණෙන මා අකුරු කරන්නට යන්නේ ගමේ පාසල වෙතයි. ත‍්‍රස්තවාදී තර්ජනයන් තිබුණු සමයක නගරයේ පාසැල් වලට යනවාට වඩා ගමේ පාසැලට යාම ආරක්‍ෂාවක් බව මාගේ දෙමව්පියන්ගේ අදහස යැයි පැවසුවත් මාගේ පියා එසේ සිදුකලේ හැදෙන එකා කොහේ හිටියත් හැදෙනවා යන දේ නිසා බව මාගේ අදහසයි.. ගමේ පාසැලේ පවා තිබුණේ මා කියැවූ පොත පත වල ඇති සමාජ පරිසරයකි. 2008 වර්ෂයේ මා අපොස සාමාන්‍යය පෙළ ලියනා දක්වාම මා පාසලෙන් මිනිසුන් ගෙන ඉගෙන ගත්තෙමි. සමාජයයේ සියළුම පන්ති විශමතාවයන් වල මා හැසිරීමට හැකියාව ලැබුනේ මෙකී ආශය තුලිනි. ඔබත් මා මේ පවසනා කාලය තුල පාසැල් ගිය අයෙක් නම් එකල තිබූ නොයෙකුත් ආවේණික ලක්‍ෂණ මතක යැයි මා සිතමි. ඉගැන්වීමට අමතරව ගුරුවරුන් ළමයින්ගේ යහපත උදෙසා නිසි ක‍්‍රියාමාර්ග ගත්තෝය. අද මෙන් මානව හිමිකම් වත්, අයතු ලෙස ප‍්‍රයෝජන ගැනීම්වත් එදා තිබුනේ නැත. එමෙන්ම අධ්‍යාපන ක‍්‍රමය පවා අද පවතිනා තරඟකාරී තත්වයට එන මට්ටමේ මුල් ලක්‍ෂණ තිබූ අවධියක් විය. විශේෂයෙන්ම කිවයුත්තක් ඇත. එකල සමාජයේ මා දන්නා බහුතර පිරිමි ළමයින් වචනයෙන්ම ඇම්බැට්ටයෝ වූහ. අද මෙන් බාහිර පෙනුම සහ සෙල්ෆි ගෙන හිතනා පිරිසක් නොව, ඔවුන් සෑම විටෙම උත්සාහ කලේ රාමුවෙන් පිට පැන අභියෝගාත්මක දෙයක් කිරීමටයි. එකල ගෑණු ළමුන් පවා ආකර්ශණය වුනේ දඩබ්බරම පිරිමින්ට සහ උගත්කමක් ඇති පිරිමින්ටය. මේ වන විට රට විශාල ලෙස ගෝලීයකරණයට සහ විවිධාකාර අළුත් දෑ සමාජයට එක් වන කාල සමයක් විය. මාගේ පියා කල ඕෆ්සෙට් මුද්‍රණ කලාව ඩිජිටල් වීම දක්වාම මේ අළුත් වෙනස අපේ ජීවිත වලට බලපෑ අතර මේ වෙනසට මා කැමති වූවත් එයින් වෙන අඩුපාඩුව එකල මට තේරුම් ගැනීමට නොහැකි විය.

2009 වර්ශය ආරම්භ වන්නේම රටේ ඉහල සමාජය සමග මාගේ ආශ‍්‍රය සමගය. එහිදී මා හට රටේ 80%ක් දෙනා දුක් විඳින්නේ 20%ක පිරිසකගේ සැපත සඳහා බව පසක් විය. මහා යුග පුරුෂයින් වැනි දක්‍ෂතා ඇති පිරිස් රටෙන් ක‍්‍රමයෙන් පිටත්ව යනවා හෝ ජීවිතයෙන් සමුගන්නා තත්වයක් උදා විය. රටේ යුද්ධය නිම වූ වසර ලෙසත්, අන්තිම වශයෙන් කළාව, සංස්කෘතිය සහ සැබෑ දක්‍ෂයින් පිරිසක් ජීවමානව සිටි අවසන් කාලය ලෙසත් 2009 වසර මාගේ මතකයේ ඇත.

මා මේ පවසන්නේ කිසිඳු දේශපාලනික සම්බන්ධයක් ඇති කතාවක් නොවේ. 2012 මායා වරුන් ලෝක විනාශය ලෙස සඳහන් කල සාරධර්ම, මානුෂීය ගුණය සහ සැබැ දක්‍ෂයින්ගේ යුගයේ අවසානය වැනි විශාල මාතෘකාවකි. වර්තමාන ලෝකයේ මා හට මා පිටස්තරයෙකු සේ පෙනෙන්නට හේතු වූයේ මා හැදී වැඩුණු ඒ පරිසරයයි. 1990 සිට 1993 වැනි කාලයේ ඉපදුණු සමහර අයට මේ වෙනස මා හට මෙන්ම දැනෙන්නට ඇත. අපි යුගයන් දෙකක් මැද සිරවී උපන්නෙමු. අපට පෙර පැවති ඒ සමාජ ක‍්‍රමයෙන් උගත් අපට අද ජීවත් වීමට සිදුවී තිබෙන්නේ වෙනස්ම ආකාරයට සිතන පතන පිරිසක් සමගය. එදා මෙන් අද ගෞරවය, සහෝදරත්වය හෝ අවධානම කළමණාකරනයක් දකින්නට නැත. එදා හැඳින්වූ කලි යුගය අද අපගේ ඇස් පනාපිට පහල වී ඇත.

රටේ ඇතිවූ මේ විපර්්‍යාසයට තනිකර වගකිවයුත්තේ තාක්‍ෂණයයි. අපි එය ආයුධයක් කරගන්නවා වෙනුවාට එයට අපිව ආයුධයක් ලෙස භාවිතා කිරීමට ඉඩහැරියෙමු. මාධ්‍යය හරහා සමාජයට ලබා දෙන දේ ගෙන අද පරම්පරාව සැලකිලිමත් නැත. මධූ රොක්ස් වැනි අයගේ මතයන් සමාජගත කරද්දී හරවත් සාකච්ඡුාවක් බෝරින් වන තරමට ඔවුන් මුලා වී ඇත. අද ක්‍ෂණික ආතල් වලට බොහෝ දෙනා නැඹුරු වී ඇත.

මා නිතර සමාජ ජාලා වල ක‍්‍රියාකාරී නොවූවත් මාගේ රැුකියාවේ කොටසක් ලෙස එහි වන දෑ ගෙන මා අවධානයෙන් සිටින්නෙමි. එහිදී මා දුටු වැදගත්ම කරුණ නම් අද වන විට සමාජයේ මතයන් ඇති කරන්නේ බොහෝවිට මේ නවක පරපුර වීමයි. ඔවුන් සතුව තාක්‍ෂණික දැනුම ඇති නිසා වැඩි ප‍්‍රමාණයක් මතයන් පල කිරීමට ඔවුන්ට හැකි වී ඇත. එවන් පරපුරක් හා ක‍්‍රියාකිරීමේදී අපට උගත් සමහර රීතීන් බිඳ දැමීමට සිදුවන අතර ඒ ගෙන මා සතුටු වෙමි. නමුත් කාලයත් සමග අත්දැකීම් වලින් ලැබිය යුතු සමහරක් දෑ ගෙන ඔවුන් දරණා මතයන් ගැන මා නිතරම එරෙහි වෙමි.

අළුත් දෙයක් බිහිවීමට පරණ දෑ ඉඩ දිය යුතුය. එහෙත් ඒ බිහිවන අළුත් දෙයින් සිදුවන විනාශය දකිනා විට ඇතිවන්නේ කළකිරීමකි. එදා අප දුටු වීරයින්ට වඩා අද වීරයින් වන පිරිස් වල ගති ලක්‍ෂණ වෙනස්ය. ගරුත්වය, විශ්වාසය, ආත්ම ශක්තිය වැනි දෑ යටව ගොස් මුදල්, බලය සහ බෙලහීන පෞර්ෂය වැනි දෑ වලට වැඩි තැනක් ලැබී ඇත. මාර්ටින් වික‍්‍රමසිංහයන් කී පරිද්දෙන්ම යුගාන්තයේ දොරකඩට අප පැමින ඇත.

අළුත් ලෝකය දෙස මා බලා සිටිමි. පිරිහෙන සමාජය දෙස මා බලා සිටිමි. එදා අප හැදී වැඩුණු කාලය සිතමින්, එකලට පෙර අප වීරයන් ලෙස සැලකූ අය ගෙන ඉරිසියා කරමින් ශාපලත් පරපුරක ආත්මය පාවා නොදී ජීවත් වීමට උත්සාහ කරමි.