මේ සංකල්පය ගෙන සිනමාවේ මෙන්ම මනෝ විද්‍යාවේ ද කතාබහ වන අතර, වර්තමාන සමාජයේ මතුව එන විවිධාකාර සිදුවීම් නිසා නැවත මදක් මේ ගෙන පවසන්නට සිතුවෙමි. මේ අදහස් මාගේ අදහස් බවත්, ඒවා විවේචනය කිරීමට ඔබට අවශ්‍ය තරම් අවස්ථාව ඇති බවත් මෙයින් මතක් කර සිටිමි.

අපි කුඩා කල පටන්ම වීරයින්ට ඇල්මක් දක්වන්නෙමු. එක එක වර්ගයේ මෑන් ලා අපගේ ලෝකයේ වීරයන් වන්නේ අපට කල නොහැකි, අපට මුහුණ දිය නොහැකි අභියෝග වලට ඔවුන් මුහුණ දී ඒවා ජය ගන්නා ආකාරය අපට විශ්මයජනක නිසාවෙනි. ගැහැණු පිරිමි භේදයෙන් තොරව කුඩා කල සිටම දරුවෙකුට දක්නට ලැබෙන, එහෙත් පසුව මග හැරෙන ප‍්‍රධාන වීරයා තාත්තාය. ළමයෙකුගේ කුඩා කල මානසික සහ ආකල්පමය හැසිරීම් රටාවට ඝෘජුවම මෙකී පියාගේ චරිතයට දැඩි ලෙස බලපෑම් කරයි.

ඔබ සමාජයේ විවිධ පවුල් දැක ඇත. විවිධ පවුල් ඇසුරු කර ඇත. මේ පවුල් පිලිබඳව ඔබ මදක් වුවමනාවෙන් බැලූවහොත් එකී පවුලේ නාමික ගෘහමූලිකයා සහ විධායක බලතල ඇත්තා සොයාගත හැක. බොහෝ පවුල් වල පියා නාමමාත‍්‍රක වේ. අම්මාගේ කටට හෝ ඇගේ පෞර්ෂත්වයට යටත්ව සිටින පියාගේ චරිතය දරුවන්ට ඉතාමත් යහපත්, සුමට හා ආදරණීය චරිතයකි. එකී පවුල් වල දරුවෝ බෝහෝමයක් මුරණ්ඩු ගති පැවතුම් පෙන්නුම් කරයි. යමක් අවශ්‍යය වූ විට බිම වැටී වැලපෙයි. ඔවුන්ට අවශ්‍යය දේ බල කර හෝ ලබා ගන්නට උත්සාහ කරයි. මේ දරුවන් ලොකු වූ කල, යුවතියක් නම් තම සහකරුගේ වචනය කණකට නොගනියි. තරුණයෙකු නම් ඔහු සැම විටෙම අන් අය තමා ගෙන සිතනා පරිදි කටයුතු කරයි. ඒ කුඩා කල පටන් තමාගේ වීරයා විසින් කල යුතු දෑ සහ නොකල යුතු දෑ වෙන් නොකිරීමත්, බැහැ සහ නැහැ යන වදන් වලට අවනතව හැසිරීම ඉගෙන නොගත් නිසාවෙනි.

පවුලක බලතල ඇත්තා මව වූ විට ඇය බොහෝ විට දහසකුත් එකක් දේ ගෙන හිත යොමු කර සිටියි. එහෙයින් බොහෝ වේලාවට ඇයගෙන් මැසිවිලි මෙන්ම තමා කේන්ද්‍ර කරගත් අසාදාරණයක ස්වභාවයක් එළියට පෙන්වයි. මෙවැනි තත්වයේ හැදෙන දරුවන් වැඩිහිටියන් වූ පසු නිරන්තරයෙන් වපුරන්නේ ඝාණාත්මක ගතිය. ඔවුන්ට සෑම විටෙකම ලෝකයෙන් සිදුවන්නේ අසාධාරණ යැයි සිතමින් තමන්ට අවශ්‍යය ආකාරයට අනෙක් දෙනා වැඩ කල යුතු බව ඔවුන්ගේ මතයයි. අවසානයේ එක් තැනක මේ පීඩනය දරාගත නොහැකිව සියදිවි නසාගැනීම දක්වා දුර දිග යන්නේ මෙකී පෞර්ශත්වයේ හානියයි. දරුණු මානසික ප‍්‍රශ්ණයකින් තනිවම ගොඩ ඒම, ලඟින් ආශ‍්‍රය කරන ශක්තිමත් පෞර්ශයක් ඇති අයෙකුගේ බලපෑම වැනි දේ නිසා මෙකී ගති ලක්‍ෂණ මෙබඳු පරිසරයක හැදුනු කෙනෙක්ට නොමැති වීමට ඉඩක් ඇත.

දරුවෙකුට පළමුවන කණේ පහර ගසන්නේ මවගේ තණ පුඩුවෙන් ඔහු ඉවත් කරනා පියාය. එතෙක් මවගෙන් සැම දේම ලබා ගන්නට උත්සාහ කරනා දරුවෙකුගේ ප‍්‍රායෝගික ලෝකයට තබන පළමු අඩිය පියාගේ මේ ක‍්‍රියාවයි. මව අයිති තමාට බවත්, ස්වාධීනත්වය තමාගේ එකම ආයුධය බවත් පියාගේ මේ ක‍්‍රියාවෙන් දරුවාට තේරෙයි. එතැන් පටන් ඔහුගේ හෝ ඇයගේ පරම හතුරා මෙන්ම මුල්ම ගුරුවරයා වන්නේද තාත්තායි. පියාගේ දෙවැනි ඉගැන්වීම වන්නේ නැහැ බැහැ වචන දෙක ක‍්‍රියාවට නැංවීමයි. අද බොහෝ දෙනා දෙයක් අවශ්‍යය වූ විට හඩා වැලපී හෝ තර්ජන ගර්ජන මගින් හෝ එන ලබා ගන්නට උත්සාහ කරනු මා දැක ඇත. කුඩා කල මා දෙයක් අවශ්‍යය යැයි ඉල්ලා ඇඩුවොත් එතැන සිට ඇති තරම් කඳුළු සලා එන තෙක් මාගේ පියා රැුඳී සිටින්නේ වත් නැත. කෙනෙක් දෙයක් නොකරන්න හෝ දෙයක් කිරීමට නොහැකි බව පැවසූ විට මා එය අවබෝධාත්මකව තේරුම් ගත්තේ එදා පියාගේ ඒ පාඩම නිසාවෙනි.

මාගේ මව කඩා කල සිටම මාගේ සැප දුක කෙරෙහි ඉතා ඇල්මෙන් වැඩ කල කෙනෙකි. ඇයගේ ජීවිතයේ එකම දුර්වල ස්ථානය මා විය. එදා මට පියාගේ දරදඩු ලෝකයේ ඇයව පෙනුනේ ආශිර්වාදයක් ලෙසිනි. ඒ සමබරතාවය දරුවෙක්ට අත්‍යාවශ්‍යය. එදා මා සිතුවේ මාගේ ලෝකයේ වීරයා අම්මා කියාය. එහෙත් අද වැඩිහිටියෙකු වන මා හට එ් මග හැරුණු වීරයා හොඳින් දිස්වේ. එදා මා ප‍්‍රාර්ථනා කලේ කවදාවත් මාගේ පියාගේ ගතිගුණ මා හට නොලැබේවා යන්නයි. ස්වාධීනව තීරණ ගන්නා, නම්‍යශීලීත්වයෙන් තොර සහ ලෝකයාට අනුව නොව තමාට අනුව තීරණ ගත් පියාගේ එදා හැසිරීම මා හට පීඩනයක් විය. ජීවිතයේ ටිකෙන් ටික ප‍්‍රශ්ණ පැමිනෙද්දී, මාගේ මවට තව දුරටත් මාගේ ප‍්‍රශ්ණ වලට සහනයක් දීමට නොහැකි වෙද්දී සහ ලෝකයක් සමග පොර බැද ගිමන් නිවන්නට තැනක් නැති වූ කල මා හට යලි නැගිටින්නට ශක්තිය දුන්නේ මාගේ පියා එදා ගෙවූ ජීවන රටාවයි.

එදා අපේ පරපුර මරා දැමූ ඒ පියාගේ චරිතයෙන් අපිට නොලැබුණු දේවල් වල ප‍්‍රථිපල ඔබට අවටින්ම දකින්නට ලැබෙනවා ඇත. ජීවිතයේ ප‍්‍රශ්ණ වලට සාර්ථකව මුහුණ දීමට පුරුදු කරනා පළමුවෙනි ගුරුතුමාගේ ඈත්වීම නිසා අද සමාජයේ තරුණයින් පත්ව ඇති උකටලී භාවය මෙන්ම තරුණියන් පත්ව ඇති අවිනිශ්චිත භාවය ඔබට නොපෙනෙන්නේ ද? මහින්ද රාජපක්‍ෂට අප්පච්චී යනුවෙන් ජනතාව අමතන්නේ තමන්ගේ කුඩා කල පටන් හිතේ සැඟවී තිබුණු සුපිරි වීරයාගේ ආගමනය ඔහුගෙන් දකිනා නිසාවෙනි. එදා පියාගේ ආභාශය නිසා ඇට්ටරව, නිර්භීතව හා නිවැරදි තීරණ ගත් පිරිමින්ගේ හිඟය නිසා ජීවිතයේ ප‍්‍රධාන අරමුණ කෙල්ලෙක් කරගත්, සමාජයේ මිණුම් වලට ජීවත් වන සහ ඉක්මනින් සැලෙන කොල්ලන් පිරිසක් අද ඉතිරිව ඇත. එවන් පිරිමින් සිටිනා සමාජයක කාන්තාවකට පිරිමියෙක් මත විශ්වාසය තබන්නට ඉඩක් නැති අතර, කලාතුරකින් හෝ එවැනි විශ්වාසයක් තබන්නට යන කාන්තාවට පවා පැන පැන දෙන පිරිමින් සිටින සමාජයක සමබරතාවය ගෙන අමුතුවෙන් කතා කිරීමට අවශ්‍යය නැත.