මගේ ජීවිතේ තියෙනවා අමතකම වෙන්නේ නැති එක දවසක්. මම හිතන්නේ මේ 2008 අවුරුද්දේ අප්‍රේල් මුල කාලේ වෙන්න ඕනේ. එතකොට මම හිටියේ මගේ පරණ ඉස්කෝලේ 9 වසරේ. එදා තමයි පළවෙනි වාරයේ අවසාන දවස. එදාටම තමයි ඉස්කෝලේ Sports Meet එකත් තිබ්බේ. ඒ කියන්නේ Sports Meet එක ඉවර කරා, ඉස්කෝලේ නිවාඩු දුන්නා අවුරුද්දට. ආයේ පටන් ගන්නේ මාසෙකින් විතර පස්සේ.

මම එදා ඉස්කෝලේට ගියේ පිටිපස්සේ ගේට්ටුවෙන්. මට මතකයි ඉස්කෝලේ මායිමේ උණ පඳුර ගාවින් තියෙන ඇලේ වතුර පාරට ඉර එළිය වැටිලා තිබ්බා. එදා මුළු වටපිටාවම හරිම එළියයි. හරියට Filter එකක් දාලා වගේ. පිට්ටනියේ එක එක නිවාස හදලා තිබ්බා. ළමයි තැන් තැන් වල රංචු ගැහිලා. හැමෝම සන්තෝසෙන්, හැමෝම හිටියේ හෙණම ගැම්මෙන්. ගුරුවරුන්ගේ පවා මූණවල් වල තිබ්බේ සැනසිලි හිනාවක්. මාස තුනක වාරයක් ඉවර කරලා එයාලාත් නිවාඩුවකට යන අන්තිම දවස නිසා වෙන්න ඇති.

එදාම තමයි මට මතක විදිහට වාර විභාගේ ළකුණු දීලා Report Card දෙන දවස. මගේ හිතේ ඒ ගැන ලොකු බරක් තිබ්බේ නැහැ. මම දන්නවා විභාගේ ගොඩ කියලා. හරියටම ඊට පහුවැනිදා අපි ගමේ ඉන්න තමයි හිටියේ. සතියක් විතර තිස්සමහාරාමේ ගිහින් කතරගම යනවා කියන්නේ අවුරුදු එක්කම නත්තල් ආවා වගේ Feeling එකක්. මෙච්චර දේවල් ගොඩක් එක ක්ෂණයෙන් හිතට ආවත් මම තවමත් ගේට්ටුවෙන් ලඟමයි. මම එහෙම නැවතිලා ඒ Feeling එක වින්දා. ඒ සැහැල්ලුව මගේ මුළු ආත්මයටම කිඳා බැස්සා.

අවුරුදු ගාණක් ගත වෙලත්, ජීවිතේ කොච්චර වෙනස් වෙලත්, මේ මතකය මගේ හිතේ අස්සක හැංගිලා තියෙනවා. කාලෙකට සැරයක් මම මේ මතකය අරගෙන පරිස්සමට ආයෙත් විඳිනවා. තවත් දවසක් ජීවත් වෙන්න මට ඒ මතකය උදව් කරනවා.