සතියක් පාසා ලිවීමට පොරොන්දු වූවත්, එසේ කිරීමට නොලැබීම ගෙන මා සමාව අයදින්නේ නැත. දහසක් පොරොන්දු දී එන දේසපාලුවන්ට තවමත් කඩේ යන එවුන්ට මගේ පොරොන්දුව කැඩෙනා එක ගෙන අමාරුවක් තියෙන්නට කිසිම හේතුවක් නැත.

කොරෝනා තුන්වන රැල්ල හෙවත් අවුරුදු රැල්ල බොහෝ දරුණුවට ආරම්භ වීමට පෙර සිටම මට විවිධ තැන් වල රාජකාරී කටයුතු සඳහා ගමන් කිරීමට සිදුවිය. ඊට පසුව රට ලොක්ඩවුන් වූ කාලයේ සහ පළාත් අතර සීමා තිබූ අවධියේ පවා මා හට නොයෙක් අවස්ථාවන්හී රට පුරා ගමන් ගැනීමට සිදුවූ අවස්ථා එමටය.

මේ සියලු ගමන්වාර සඳහා අද වනවිට මා හට පී.සී.ආර් පරීක්ෂණ 7ක් සහ තුන් වරක් නිරෝධානය වීම් තත්වයන්ට මුහුණදීමට සිදු විය. මේ ලිපිය ලියනා මොහොතේ කිසියම් පෙර කරුමයක් නැති නම්, දිවි ඛේරාගෙන සිටීමට හැකිවූයේ දෙවියන්ගේ ආශිර්වාදය සහ තවත් එක් හේතුවක් යැයි මම විශ්වාස කරමි. දැන් මම සූදානම් වන්නේ එකී අනෙක් හේතුව ඔබ හමුවේ තැබීමටය. මේ කාරණය මාගේ පෞද්ගලික එකක් නිසා, ඔබට වලංගු වීමට ඇති ඉඩකඩ ඉතාම අඩු ප්‍රතිශතයක් ගන්නවා ඇත.

ඔබට මා හමුවී ඇතිනම් බොහෝවිට මා සැරසී සිටින්නේ ඩෙනිම් කලිසමකින් බව ඔබ දන්නවා ඇත. ඇඳුම් සහ විලාසිතා යන විෂය මා හට බොහෝ නීරස එකකි. ඒ හේතුව නිසාම මා හට ඇත්තේ එකම එක ඩෙනිමකි. ඊට අමතරව රාජකාරී කාර්්‍යයන් සඳහා මූස් වර්ගයේ කලිසම් 2ක් ඇත. ඒ සඳහා මා පෙලඹුවේද හදිසියේ අප අතරින් සමුගත් අසඩ්ය. මා දකිනා සෑම විටෙකම ඔහු මගේ ඩෙනිමට නිගා කොට කෙසේ හෝ තමා මෙන් මූස් කලිසම් අඳිනා ලෙස මට බලපෑම් කලේය. ඒ නිසා මිලට ගත් මූස් කලිසම් දෙස රාජකාරිය සඳහා මා භාවිතා කලත්, වත්මන් තත්වය මත බොහෝ කාලයක් ඒ කලිසම් දෙක ඇඳ ගමනක් යාමට අවශ්‍යතාවයක් ඇතිවූයේ නොමැත.

ඉතින් මා ඉහත පැවසූ සියළුම ගමන් සඳහා මා භාවිතා කලේ මා සතුව ඇති මේ එකම ඩෙනිමයි. එය සාමාන්‍යය දෙයක් ලෙස බොහෝ දෙනා පිලිගන්නා බවට මා දනිමි. නමුත් විශේෂ කරුණ නම් මේවන තෙක් මාස 5ක් පුරාවට එය මා සෝදා නැති වීමයි.

ආදරණීය මිතුරු මිතුරියනි, ඔබගේ දෝශාරෝපණය සහ පිලිකුළ මා වෙත එල්ල කිරීමට පෙර මදක් මට කරුණු දැක්වීමට අවසර දෙන්න. එය එසේ සිදුවූයේ මා පිරිසිදුව සිටීමට ඇති අකමැත්ත නිසාවත්, තවත් ඩෙනිමක් ගැනීමට මා සතුව මුදල් නොමැති නිසාවත් නොව. එය එසේ සිදුවීමට හේතු කාරණා යෙදුණු බැවිනි. මේ සිදධිය සඳහා මමත් මගේ ඩෙනිමත් වරදකරුවන් සේ නොසලකන මෙන් ඔඛෙන් මා ඉල්ලන්නේ ඒ නිසාවෙනි.

වාදගත්ම කාරණය වන්නේ එය නොව, මේ වනවිට මේ ඩෙනිම කෝවිඩ්19 වෛරසය සඳහා ස්වයං ආරක්ෂිත පලිහක් ලෙස ඉඛේම සැකසී ඇති නිසාවෙනි. ඇල්ෆා ප්‍රභේද සහ ඩෙල්ටා ප්‍රභේද පමණක් නොව, මෙතුලින්ම පරිණාමය වූ ප්‍රභේද පවා මෙහි දැන් අරක්ගෙන හමාරය. කොටින්ම ඩෙනිම තුල වෙනමම ජෛව පද්ධතියක් ආරම්භ වී ඇත. කොරෝනා වෛරස පවා දැන් මේ ඩෙනිම ප්‍රතික්ෂ්ප කරන තත්වයට පත්ව ඇත. අනෙක් වෛරස වලට වඩා තරමක බුද්ධි මට්ටමක් ඇති කොරෝනා මේ ඩෙනිම මගහරින්නේ එය තමාගේ සෞඛ්‍ය තත්වයටත් වඩා පහළ තැනක ඇති නිසාවෙනි.

ඉතින්, දැන්වත් ඔබට මෙහි ඇති වටිනාකම නොතේරේද? මාස ගණනාවක දත්ත මාගේ ඩෙනිමේ ඇත. පළාත් ගණනාවක, විවිධ ස්ථාන ගණනාවක, රෝහල්, නිරෝධාන මධ්‍යස්ථාන සහ විවිධ කාලගුණික අවස්ථාවන්ට මුහුණ දී ඇති මෙය කොරෝනා වෛරසය සඳහා පර්යේෂණ කරන අයට මිල කල නොහැකි දෙයක් වනු නොඅනුමානය.

දෛවය හරස් නොවුනොත්. දෙවියන්ගේ කැමැත්ත නොවුනොත්. තවත් කාලයක් මේ ඩෙනිම විසින් මා සුරකිනු ඇත. හෙට මා නික්ම ගියහොත්, මේ ඩෙනිම පර්යේෂණාගාරයක් වෙත යොමු කරන්න. ලොවක් නසනා වෛරස නසනා පිළියම මෙහි තිබී හමුවීමට ඇති අවස්ථාව ඔබට භාර කරමින් මා අදට නවතිමි.