මම මනෝ වෛද්‍යවරයෙක්වත්, මානසික සෞඛ්‍යය ගෙන විශේෂඥයෙක්වත් නෙමෙයි. ඒ නිසා මම මේ කියන දේවල් වල වැරදි ඇතිනම් නිවැරදි කරන්න වගේම මේක මාගේ අත්දැකීම් සහ දැක්ම මත පදනම් වෙලා කරන ප්‍රකාශයක් විදිහට සලකන්න කියලා මුලින්ම මම ඉල්ලා සිටිනවා.

පසුගිය වසරේ ලොක්ඩවුන් එක තිබුණු කාලයේ අපේ රටේ වගේම වෙනත් රටවල් වලත් සියදිවි නසාගැනීමේ ප්‍රතිශතය එක වරම ඉහල ගිහින් තිබුණා. අපි දන්න කියන ප්‍රසිද්ධ පුද්ගලයින් පවා මේ අතර හිටියා. දැන් ආයෙමත් රට වහලා සති කිහිපයකට. දැන් මෑතකදී තවත් ඒ වගේම සිදුවීම් සිදුවෙන්න අරගෙන තියෙනවා. අවංකවම මම දන්නේ නැහැ එයාලාගේ වෙන පෞද්ගලික හේතු තිබුණාද කියලා මේ සියදිවි නසාගැනීම් පිටිපස්සේ. ඒත්, මේක මට ඇතිවෙච්ච පෞද්ගලික අත්දැකීමක්. සියදිවි නසාගන්න හිතිලා තියෙන කෙනෙක් මේක කියවලා මේකෙන් හිතට සහනයක් හෝ තව එක පාරක් අල්ලන් ඉන්නවා කියලා හිතුවා නම් ඒ මට ඇති.

මම සාමාන්‍යයෙන් මිනිස්සුන්ට අකමැතියි. මම තනිව හැසිරෙන සත්වයෙක් කිව්වොත් නිවැරදියි. හැබැයි මිනිස්සු හැදිලා තියෙන්නේ සමාජයේ හැසිරෙන සත්තු විදිහට. අපිට සමාජ සම්බන්ධතා අවශ්‍යය වෙන්නේ මේක නිසාමයි. ඒකයි අපි නිතරම සෙට් වෙන්න හදන්නේ. අපි ට්‍රිප් යන්න හදන්නේ. ඉක්මනට තව කෙනෙක් හොයාගෙන පාළුව නැති කරගන්න හදන්නේ. කොටින්ම අපි තනිවෙන්න බයයි. අපි තනි වුණාම අපේ හිත අපිත් එක්ක කතා කරන්න ගන්නවා. එතකොට ඒ හිතෙන දේවල් වලට වගේම අපි ගෙන දැනෙන දේ අපි විශ්වාස කරනවා.

මම කලින් කිව්වා වගේ මම ආසයි තනියෙන් ඉන්න. කාමරේට වෙලා ජීවිත කාලෙම වුණත් ඉන්න මට පුළුවන්. මම තනි ළමයි නිසා ඒක පොඩි කාලේ ඉඳන්ම හුරුවුණ දෙයක්. පහුගිය අවුරුද්දේ ලොක්ඩවුන් එකේදී මම ගොඩක්ම සතුටුවෙන්නේත් මේ නිසාමයි. ලොක්ඩවුන් එක පටන් අරන් මුල් සතිය දෙක මම ගත කරන්නේ හරිම සැහැල්ලුවෙන්. ආයෙත් පරණ ලෝකෙකට ගියා වගේ මම තනි වෙනවා. රාජකාරී වැඩ තිබුණත්, ඒවා ගාණට මැනේජ් කරගෙන මම ඉන්නවා. රෑට ෆිල්ම් එකක් එහෙම බලලා වැඩිය නිදිමරන්නේ නැතිව හොඳ නින්දකුත් දානවා. ඊට පස්සේ මම පටන් ගන්නවා හැමදාම උදේටයි හවසටයි පොඩ්ඩක් ව්‍යායාම ටිකක් කරන්න එකම තැනට වෙලා ඉන්න එක හොඳ නැති නිසා. ඒත් එක්කම හවසට පොඩි නින්දකුත් දානවා කරන්න වැඩක් නැති වුණාම. දැන් ටිකෙන් ටික මගේ ජීවන රටාව වෙනස් වෙන්න ගන්නවා මට නොදැනීම.

දැන් ලොක්ඩවුන් එකේ උපරිම කාලය එනවා. මේ කාලයේදී තවත් ජීවිතයේ වෙනස්කම් කිහිපයක් සිද්ද වෙනවා. මම හැමදාම වෙනසට අකමැති කෙනෙක්. ඒවාත් එක්කම මගේ ඔලුව රිදෙන්න ගන්නවා එක පාරටම. හැමෝම කියන්නේ ස්ටේ‍රස් කියලා, ඒ කාලේ සෑහෙණ වැඩ කොටසකුත් කරපු නිසාම සහ මාත් එක්කම වැඩ කරපු කිහිප දෙනෙක්ටත් මේ ලක්ෂණම ආපු නිසා මමත් වැඩි කලබලයක් නොවී ඉන්න බලනවා. ඒත් මේ ඔලුවේ කැක්කුම නැති වෙන්නේම නැහැ. ඊට පසසේ මේක මිග්‍රේන් තත්වයකට පත් වෙනවා. දැන් මට නොනවත්වාම ඔලුව රිදෙන්න ගන්නවා.

ඒත් එක්කම හිතට එනවා මහා අසරණ ගතියක්. ඊට පස්සේ දැනෙනවා මහා මූසල හැඟීමක්, අන්තිමට ලෝකේ එක්ක මහා තරහක් එනවා. මේ සිතුවිලිදාමය ඉවර වෙන්නේ මේ රෙද්ද තවත් ජීවත් වෙන්න තියෙනවානේ කියලා හිතිලා. තත්වය ඉවසන්නම බැරිම තැන මාව එක්කන් යනවා විශේෂඥ වෛද්‍යවරයෙක් ලඟට. ඔහු කියනවා මේ මාසය ඇතුලත මගේ බර කිලෝ 8ක් අඩුවෙලා කියලා. මම පෘෂ්ඨිමත් ශරීරයක් ඇති කෙනෙක් නෙමෙයි.. එහෙම එකෙක්ගෙන් තව කිලෝ 8ක් අඩුවුණා කියන්නේ ආයි ගන්න දෙයක් නැහැ. මේ ඩොක්ටර් තීරණය දෙනවා මට ඩිප්‍රෙෂන් කියලා. ඒකට ඛෙහෙතුත් දෙනවා. මේ වෙලාවේ මට ඒ තීරණය ගෙන කිසිම සවිඥ්ඥාණික හැඟීමක් නැහැ.

මම ඛෙහෙත් බොන්න ගන්නවා. මට දැනෙනවා මාරම හිස් ගතියක්. ඔලුව රිදෙන එක අඩු වෙනවා. හැබැයි හැම දේම හිස් වගේ. රැල්ල ගහන්නේ නැති මුහුදක් වගේ. හවසට ඛෙහෙත බොන්න වෙලාව ලං වෙද්දී ආයෙමත් පරණ විදිහටම ඔලුව රිදෙනවා. ඒක නවත්තගන්න මම ආයේ ඛෙහෙත් බොනවා. මම මීට පෙර සිටම ඩිප්‍රෙෂන් එකට ඛෙහෙත් බොන එකට අකමැතියි. මගේ යාළුවෝ කිහිප දෙනෙක් එහෙම ඛෙහෙත් වලට ඇබ්බැහි වෙද්දී මම බැණලා තියෙනවා ඔය ඛෙහෙත් නිසා තමයි උඹලා විනාස වෙන්නේ කියලා. මොකක් හෝ පිනකට මම ඒ යාළුවාගෙන්ම අහනවා උගේ අත්දැකීම ගෙන මේ වෙලාවේ.

මේ වෙලාවේ ඇත්තටම මගේ ලඟ හිටිය අයට විශේෂයෙන් ස්තූති කරන්න ඕනේ මට එයාලාගේ ජීවිත වලින් උපදෙස් දුන්නාට. මොකද එක දවසක රෑ මම ඛෙහෙත් බීලා නින්ද එනකම් බලාගෙන ඉන්නකොට මට එනවා හැඟීමක් මේ කිසි දුකක් නැහැනේ මැරුණා නම් කියලා. විශ්වාස කරනවා නම් කරන්න මම ඒ වෙලාවේ කැපෙන ආයුධයක් හොයනවා මේ වේදනාව ඉවර කරන්න. ඛෙහෙත් වල මත් ගතිය නිසා ඒ සිතුවිල්ලට විරුද්ධව සටන් කරන්න මට ශක්තියක් නැති වෙනවා. ඒ දේ කරන්න යන්න ඔන්න මෙන්න තියෙද්දී එක පාරටම මගේ හිත ආයේ මට කතා කරනවා. ඒ දැනුන දේ මම ඒ විදිහටම කියන්නම්.

“නැවතියං. අමාරුයි තමයි මෙහෙම ඉන්න. ඒත් මීට වඩා ප්‍රශ්ණ වලදී අපි දෙන්නා එකට හිටියා. අපි අපිව බලාගත්තා. මේක ඊට වඩා ආමරු කාලයක්. උඹ ඛෙහෙත් නවත්තපං. උඹට ඔලුව පැලෙන්නම යයි. හැබැයි මම ඉන්නවා උඹ එක්ක. අපි ගේමක් ගහමු. හෙට වෙද්දී මේ හැම දෙයක්ම ඉවරයි. අපිට මේක ගෙන හිතලා හිනාවෙන්න පුළුවන් දවසක් එනවා. මම උඹට මැරෙන්න දෙන්නේ නැහැ. “

පහුවදා ඉඳලා මම ඛෙහෙත් නවත්තනවා. ආයෙමත් ඔලුව කැක්කුම එනවා. හැබැයි දැන් මගේ හිත ටිකක් ශේප්. ශරීරයේ එන වේදනාව අමතක කරන්න මගේ හිත මට උදව් කරනවා. ටික දවසක් ගිහින් මට එළියට යන්න සූදානම් කියන තැනට මම එනවා. මම සිංහල වෙදමහත්තයෙක් හමුවෙනවා. එයා තමයි හරියටම මට රෝග විනිශ්චය දෙන්නේ.

නින්ද අඩුවීමත් එක්ක අපේ ඇඟ ඇතුලේ සිස්ටම් අවුල් යනවා. ඒකත් එක්කම බඩේ අම්ලය රැස් වෙන්න ගන්නවා. අක්මාවටවත් ඉඩක් නැහැ මේ විස අයින් කරන්න මොකද අපි රීෆ්‍රෙෂ් වෙන්න දෙන්නේ නැති නිසා. ඒත් එක්කම ව්‍යායාම කිරීම නිසා ශරීරය තවත් stress වෙනවා. බර අඩු වෙනවා. දැන් ශරීරය දුර්වල නිසා ඔලුවට ඒක බලපානවා. පොඩි දෙයක් වුණත් ඇති හිතට ට්‍රිගර් වෙන්න. මේ හේතු රාශියගේම ප්‍රතිපලයක් විදිහට අපිට මහා ඩිප්‍රෙස් මූඩ් එකක් එනවා. මේ වේදනාව තමයි අපි නැති කරගන්න උත්සාහ කරන්නේ.

මේ කාලේ බොහෝමයක් දෙනා කාලය ගත කරන්නේ තනියම කාමරවලට වෙලා. අපි සාමාන්‍යයෙන් එක්කෝ ෆොන් එකේ, නැත්තම් ලැප්ටොප් එකේ වැඩක්, එහෙමත් නැත්තම් ඔෆිස් එකේ වර්ක් ෆ්‍රොම් හෝම් සිස්ටම් එකට හුරු වෙලා දැන් එකම රටාවකට පුරුදු වෙනවා. වැඩක් නැති අය පවා මේ දවස් වල දැනෙනවා ඇති රෑ 2 විතර වෙනකම් නින්ද යන්නේ නැතුව ඔහේ ඇහැරිලා ඉන්නවා කියලා. මේක එක පාර වෙන දෙයක් නෙමෙයි. ක්‍රම ක්‍රමයෙන් දවල්ට නිදාගෙන රෑට ඇහැරිලා ඉඳලා, නැත්තම් වෙනත් හේතු මත ටිකෙනේ ටික මේ අස්වාභාවික රටාවට අපිව ඇදගෙන යනවා. මෙන්න මේ නිදි නැති සහ තනියෙන් ඉන්න වෙලාව තමයි භයානකම කාලය. තමන්ගේ හිත මේ කාලය යොදා ගන්නවා තමන් පෙර කරපු ගොන් වැඩ මතක් කරන්න, තමන්ගේ අනාගතය ගෙන බය කරන්න, තව තමන්ට අදාලත් නැති දේවල් ගොන්නක් ගෙන ඔහේ දඩාවතේ දුවන්න හිත පෙලඹෙනවා. සාමාන්‍යය දවසක මෙහෙම දෙයක් වුණාට අපිට දැනෙන්නේවත් නැහැ. මොකද පහවදාට අපි තව කෙනෙක් එක්ක කතාබහ කරලා වෙනත් දේකට හිත යොමු කරලා මේ දේවල් අමතක කරනවා.

හැබැයි දැන් තත්වය වෙනස්. මොකද දැන් අපිව කූඩු කරලා තියෙන්නේ. අපි ඉන්නේ හරිම දුර්වලම තැනක. මේ වෙලාවේදී අපි ගොඩක්ම මේ දැනෙන පීඩනය වේදනාවක් කරගන්නවා. හරියට නිකම් ෆෝන් එකක හරි හාඩ් එකක හරි කෑෂ් ෆයිල්ස් එකතු වෙලා එකතු වෙලා ඉඩ පිරෙනවා වගේ. රීෆ්‍රෙෂ් කරන්නේ නැතිව මෙහෙම ගොඩගැහෙන පීඩනය එක පාරම දවසක වැඩිපුර දැනෙනවා. එදාට එන වේදනාවට වඩා ඒක නැතිකරගන්න එක සැපයි කියලා හිතලා තමයි මේ තීරණ වලට යන්නේ.

මගේ අත්දැකීමෙන් මට දෙන්න පුළුවන් උපදෙස් කිහිපයක් තියෙනවා. පුළුවන් තරම් එකම දේට නැතිව අවධානය වෙන වෙන දේවල් වලට යොමු කරන්න. කාත් එක්ක හරි කතා කරලා නැත්තම් එළියේ ඇවිදලා ඉන්න. තමන් හිත හයිය කෙනෙක් නම්, තමන්ට තනිය හුරුයි නම්, නිදි මරන්නේ නැතිව හරි ජීවන රටාවකට හුරු වෙන්න. තමන්ගේ හිත හයිය වුණාට ශරීරට දුර්වල වුණාම හිතට සපෝට් එකක් නැති වෙනවා. හිතේ සහ ශරීරයේ බැලන්ස් එක හොඳට තියාගන්න. මේ මොන දේ කිව්වත්, දේවල් හිතට එන වෙලාව අපිට කියන්න බැහැ. මම කියන්නේ නැහැ තව පොඩ්ඩක් ඉවසන්න කියලා. මොකද අත්දැකීමෙන් මම දන්නවා ඒ වෙලාවට හිතෙන හොඳම දේ ඒක කියලා. හැබැයි හැම පුළුවන් නම් හිතන්න, හෙට උදේ වෙද්දී මේ හැම දෙයක්ම ඉවර වෙනවා කියලා. අන්න ඒ පොඩි බලාපොරොත්තුව තමයි අදටත් මාව ජීවත් කරවන්නේ.

ආයමත් මම කියනවා. අපි එකිනෙකාට වෙනස්. මම මේ කිව්වේ මගේ කතාව. ඔයාලගේ විදිහ මීට වඩා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. පුළුවන් නම් මතක තියාගන්න, හෙට උදේ වෙද්දී මේ සේරම දේවල් ඉවරයි.