සියළුම දේ වෙනස්වන සුළුය. දින 13ක් ගෙවී අවසන්ය. අද මා මේ ලියන්නේ අවසාන රාත්‍රියේ සටහනයි. සියල්ලෝම නිවැස් බලා යාමට උද්දාමයෙන් සිටිති. ලක්මී දෙපාරක්ම තම ගමන් මල්ල සූදානම් කර ඇතැයි පැවසුවාය. කෙවිනා පවා සිටින්නේ තදියමේය. දින 13ක් පුරා තමන්ට සෙවණ දුන් තැන ඔවුන්ට දමා යෑමට ඇති ආසාව…

අපි බයම දේ වෙනසය. කොතරම් අපි වෙනසට ආශා බව කීවත් හිත ඇලී ඇති තැන් දැනගන්න නම් සම්පූර්ණයෙන්ම වෙනසක් කල යුතුය. අද මෙහි සිටිනා සියළු දෙනාම ඒ වෙනසේ පර්යේෂණයට මුහුණ දී අවසන්ය. හැමෝටම ඇත්තේ නැවතත් තමන්ගේ ලෝක වලට යාමේ ආශාවය. මම වෙනසට වෛර කරමි.

නිවන් දකිනට පෙරුම් පිරුවට
ඇලීමක් දැන් නැහැයි හිතුවට
දන්නෙ නෑ අපෙ හිතේ ඇතුලේ
තියෙන තරමක් ඇලුණු තැන්

සුමති අප හැර ගොස් දවස් ගණනාවකි. සමන් වත් MAS වත් කලකින් නොදුටුවෙමි. කෙවිනාගේ බුෆේ එකෙන් කන ලේනුන් දෙදෙනා හෙට දින ආ විට අප නැති බව දැනගනු ඇත. දින කිහිපයක් පුරුද්දට මෙන් නැවත පැමිණ ඔවුන්ටත් අපව අමතක වනු ඇත. උදෑසන දැනෙනා මුහුදු සුළගත් හවස් වරුවේ පෙනෙනා බටහිර අහසත් දින කිහිපයකින් අමතක වී යනු ඇත.

මොහාන් අයියා තම දියණිය හා හමුවට යාමට නොඉවසිල්ලෙන් සිටියි. දින පතා ඔහුගේ දින සටහන මා කියවයි. එහි අවසන් කොටස මා නොකිවයන්නේ මා රොබින් ශර්මාට ආසා නැති නිසාවෙනි. ෂර්මා මට නිතරම දිස්වන්නේ ජොනී සින්ස් වගේය. ජොනීගෙන් ජීවිතයට උපදෙස් ලැඛෙන්නාක් මෙන් දැණුන විට මට ෂර්මාගේ කතා සීරියස් නැත. මොහාන් අයියාව ට්‍රිගර් කිරීම ආතල් වැඩකි. හේ ඇවිස්සුණු පසු පන්දම අතට ගත් කට්ටඩියා වැනිය.

ඉමන්ති නම් තමන්ට අමතක වූ ෂැම්පු එක පිළිබඳව ආව දා පටන් දුක් වෙයි. ලක්මී තමාගේ නොසේදූ රෙදි කන්ද රැගෙන ගොස් සේදීමට හැකිවීම ගෙන සතුටු වෙයි. කෙවිනාට ගෙදර අය සහ තමාගේ පරිඝණකය මතක් වේ යැයි දිනක් මා සමග පැවසුවා මතක ඇත.

මා නිවසට එන තෙක් ලොකු තඩියා සහ පොඩි තඩියා බලාගෙන සිටියි. කොස්ගොඩ නිරෝධායන මධ්‍යස්ථානය මා හට දිවියේ අමතක නොවනා සන්ධිස්ථානයකි. මාගේ දරාගැනීමේ ධාරිතාවය පරීක්ෂා කෙරූ තවත් එක් තැනකි.

මාගේ බඩියා කෙවිනාගේ පෙම්වතිය ඔෂී ඛේබ් ය. ඇගේ හරි නම ඔෂධී ද ඔෂානි ද නැත්නම් ඔෂීන් ද යන්න මා නොදනියි. ඇය වාසනාවන්තය. කෙවිනා කලකින් මට හමුවූ හොඳ කාමර සගයෙහි. ඔහු පිරිසිදුය. පිළිවෙලය. නියමිත වේලාවට වැඩය. සද්දන්ත ශරීරයක් ඇතත් ඉතාමත් ඉක්මන්ය. මුලින්ම ආ දවසේ පටන් අද වන විට කෙවිනාගේ සිංහල පරුෂ වචන ඉතා හොඳින් ඔපමට්ටම් වී ඇත. කෙවිනාගේ පෙම්වතියට ලැඛෙන්නේ වාසය කල හැකි තත්වයේ තරුණයෙකි. කෙවිනාගේ හැසිරීම් මට චරියාව මතක් කරයි. චරියා මූට වඩා කම්මැළිකමින් වැඩිය. එහෙත් මුන් දෙදෙනාම ගේම් ගසනා සැටි බලා සිටීමට මම ප්‍රිය කරමි.

දිනපතා නොලිව්වත් ඉඳ හිට හෝ ලැඛෙනා විවේකයෙන් මෙය සම්පූර්ණ කිරීමට ලැබීම ගෙන මම සතුටු වෙමි. මෙසේ දිගටම මාගේ බ්ලොග් එක යාවත්කාලීන කරන්න යැයි කිහිප දෙනෙක්ම පැවසුවෝය. ඒ ගෙන සිතා බැලිය යුතුය. නැතිනම් යූටියුබයේ ව්ලොග් එකක් ආරම්භ කල යුතුය

හෙට සිට තුන් වේලට කෑම ගෙනෙන්නට ජනක නැත. ආහාර ඉල්ලාගෙන එන අපේ සෙට් එක නැත. හවසට කෙවිනාගේ ගේම් ගැසිල්ල නැත. හෙට සිට නැවතත් පැරණි දිවිය වෙත යන්නෙමි. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. නිරෝධායනයෙන් පිටවීමට ලැබීම සැපතකි