කාලය කෙතරම් සාපේක්ෂ ද? අමරසිරි පීරිස් මහත්මයාට අනුව නම් කාලය නපුරුය. ශාලිත අඛේවික්‍රම මහත්මයාට අනුව නම් කාලය මැවූ වෙනස ගෙන තවමත් පුදුම සහගතය. මට නම් කාලය එක් ක්ෂණයකින් වෙනස්වන සුළු දෙයකි. එවැනි තත්වයක මාස තුනක කොතරම් නම් දේ සිදුවන්නට ඇත්ද?

නිරෝදායනය නිම වී දිගින් දිගටම ලියන්නට හිතුනත් ඒ අදහස අත්හැරියේ මට වඩා ආතල් දෙන්න වෙනත් සෑහෙණ පිරිසක් ඉදිරිපත් වුණ නිසාවෙන්මය.

අපේ රටේ පාලකයින්ගෙන් පටන් හැම කෙනාම දැන් ආතල් දෙන්නට පටන්ගෙන ඇත. දුකම කාරණය නම් අපිත් ඒ ආතල් එකට දැන් හුරු වෙලා ඇති හැඩයකි. උන් අපිටම කැත වැඩ කර, අපිටම වැරැද්ද පටවා අවසානයේ උන් වැරදිකරුවන් යැයි අසු වූ විට නැවත අපිටම ආතල් දී ඒවා අමතක කරයි. එවන් තත්වයක අපිටම සිනාසෙන පිරිසකට මගේ කතා ආතල් මදි යැයි මටම සිතෙයි.

දැන් දේවල් වෙන විදිහ හරි වෙනස්ය. දැන් ඕන දෙයක් යට ගහන්නට ක්‍රම සහ විධි ඇත. එක Trend එකකින් හැම දේම අමතක කර දමන්නට අද මාධ්‍යයට හැකියාව ඇත. නමුත් ඒ කිසිවක් තේරුම්ගන්න තරම් අපි සවිඤ්ඥාණික නැත. අපි ඔවුන් කියනා හැම දෙයක්ම කට ඇරගෙන බලා සිටින්නට පුරුදු වී අවසානය.

සල්ලි ගෙවනා ගෙවනා ප්‍රමාණයට තමන්ට අවශයය ඕනෑම Agendaවක් Campaign එකක් මාර්ගයෙන් එළියට දැමීමට තරමට අද මාධ්‍යය පහතට වැටී ඇත. රෙනෝගේ සියල්ලන්ටම ඉහලින් දකින දේ සහ දිලිත්ගේ කොම්බුවට රෙදි හෝදන මැෂින් යැයි පැවසුවත්, ඊට එහා ගිය රෙදි ලොන්ඩරි සමාජ ජාලා මාධ්‍යය වල තවත් ඇත. ඒවාට විරුද්ධව එක පණිවිඩයක් එළියට ගියහොත් ඒවා මර්ධනය කිරීමට ඔවුන්ගේම මාෆියාවක් ඇත.

The Social Dilemma ඩොකිය නැරඹූ සමහරක් අය එය අගයා ඇත්තේ ද සමාජ ජාලා මාධ්‍යය වලින්මය. සිරස වොයිස් නැරඹූ අය එය මවාපෑමක් යැයි චෝදනා කරන්නේ අනෙක් හැම දේම සත්‍යයක් යැයි සිතාගෙනය. අද බොහෝමයක් තොරතුරු වලට සැබෑ මූලාශ්‍ර නැත. මෙවැනි තත්වයක් උඩ ආතල් දෙනවාට වඩා මට දැනෙන්නේ සාධාරණ බියකි.

අපි බිහි කරමින් සිටින්නේ Victim Mentality පරම්පරාවකි. අප පොහොර දමන්නේ දිනයක අපේම සත්‍යය කතාව විකෘති කර පෙන්වනා මාධ්‍ය සංස්කෘතියකි. අපි පත්කර ඇත්තේ, අපිවම විනාශයට ගෙන යන පාලන ක්‍රමයකි. ඉතින් මිත්‍රවරුණි, මෙතෙක් කාලයක් අත රිදෙනා තරමට මේ ගෙන කියූවත් නොඇසූ නුඹලාට සත්‍යය පෙන්වීමට යනවාට වඩා ඇත්තටම ආතල් එකක් දී පැත්තකට වී සිටීම යහපත් යැයි මම සිතමි.