දිනපතා ලියන්නට ගියහොත් දිනපොත ඒකාකාරී වනු ඇත. දින කිහිපයක අත්දැකීම් ගොනු කර ලිවීම ඊට වඩා අගනේය යැයි මට සිතෙයි.

කෙසේ වෙතත් අපගේ කුඩා ලෝකය තුල විශේෂ දේවල් නිතර සිදු නොවෙයි. දිනපතා අළුත් දෙයක් වීමට නම් එක්කෝ කෙවිනා අනුහස් විය යුතුය. නැතිනම් මම අවන්ත විය යුතුය. වාසනාවකට අප දෙදෙනා එසේ නොමැති නිසාවෙන් අපේ ජීවිත ගෙවී යන්නේ වැඩි කලබලයක් නැතිවමය.

ඊයේ දිනයේ සටහන ලිවීම ආරම්භ කලේ මේ ආකාරයෙනි.

එහෙත් එකී නිදහස අප වෙත රැඳී තිඛෙන්නේ තවත් පැය කිහිපයකට බව අපට එවෙලේ වැටහුනේ නැත. උදෑසනම ඉදිරි ආරක්ෂක වළල්ලට ප්‍රහාර එල්ල කලේ ජනකය. කෙවිනාත් මමත් සැප නින්දේ සිටියදී දඩ බඩ දා දොරට තඩිබා අපව ඇහැරවූයේ ජනකය. කෑම ටික එළියේ තබා යෑමට හැකියාව තිබුණත් ජනකට අපි කාමර ඇතුලේ ගෙල වැලලාගෙන මිය ගියාදැයි සැක හැර දැකගත යුතුය.

දෙවන ප්‍රහාරය එල්ලවූයේ උදෑසන ආහාර ගන්නා අතරතුරය. ඉමන්තීගේ ප්‍රධානත්වයෙන් යුතු සතුරු බලඇණියේ ප්‍රහාර එක දිගට කෙවිනාට සහ මට එල්ල විය. සූක්ෂම ලෙස විටෙන් විට ආරක්ෂාකාරීව පසුබසිමින් අපි සටන දිගටම ගෙන ගියෙමු.

කෙවිනාගේ ඉවසීම නැති වී ඇත. ඔහු බර අඩි තබමින් කාමරයේ එහාට මෙහාට ඇවිදියි. කෙවිනාගේ බුෆේ එකෙන් කන ලේනුන් දෙදෙනා ආවේ මේ වෙලාවේදීය. සිතට යම් සහනයක් දැන් වත් ලැඛේ යැයි විශ්වාසයෙන් අප බලා සිටියෙමු. ඒ පඩත්තරයින් දෙදෙනාටත් දැන් අං ඇවිදින් ඇත. උන් අද කෑම දෙස නොබලාම එහා මෙහා යයි. කෙවිනාගේ ඇස් වෛරයෙන් දිලිසෙයි.

සවස් වරුව වන විට යුධමය තත්වය තරමක් යහපත් අතට හැරෙන ළකුණු දිස් විය. මා සිටි ස්ථානය පසු කර කෙවිනා එළමහනට දිව ගියේය. අහෝ… ඒ කුඩා නොසැලකිල්ලම සතුරාගේ වාසියට හේතු විය.

මචාං…. I wanna go outside and take a breath….

යැයි සිනාසෙමින් කෙවිනා එළියට ගියා පමණකි. සැගවුණු වෙඩික්කරු මේ සියල්ල අවධානයෙන් බලා සිට ඇත. ක්ෂණයෙන් ක්‍රයාත්මක වූ නාදුනන ප්‍රහාරකයෙක් කෙවිනාගේ හිසට කෙළ ප්‍රහාරයක් එල්ල කරේ මේ මොහොතේය.

මුළු පරිසරයම එක් මොහොතකට නිහඩ විය. මුහුදේ රළ පවා එක් මොහොතකට නතර වුණි. මා හට හැරෙන්නටවත් ඉඩක් නොතිබුණි. කෙවිනා සෙමින් තම හිස අතගා ඉව කර බැලුවේය.

Bro, I think someone spit on my head….

කෙවිනාගේ ඒ වදන තවමත් මාගේ සවනේ රැවු දෙයි. සිදුවූයේ අනපේක්ෂිත සිදුවීමකි. වහාම කෙවිනා ආරක්ෂිතව ඇතුලට දිව ආවේය. එසැණින් ඌ දිව්වේ නාන කාමරය වෙතටයි.

කෙවිනා යළි පිටතට පැමිණයේ විනාඩි ගණනාවකට පසුවය. නාන කාමරයේදී සබන් යැයි වැරදී හිසට Dish washing liquid එක දමාගෙන ඇත. දැන් කෙවිනාගේ හිස හිරු එළියට දිලිසෙයි.

මා හට විශාල ප්‍රශ්ණයක් ඇත. මේ අභිරහස පිටුපස සිටින්නේ කවුරුන්ද යන්නයි. ඇත්තෙන්ම අපරාධකරුවා සිටිය යුත්තේ පිටුපසින් නොව ඉහලින්ය. වක්‍රාකාර කෝණයකින් හිස් මුදුනේ නිලය බලා මරු සිටිනා කාලය අල්ලා කෙල ගසන්නට නම් හොඳ පුහුණුවක් තිබිය යුතුය. මාගේ මුල්ම සැකකාරිය ලක්මිය. ඇය හා අප අතර අංශක ගාණක ආනතියක් තිඛේ. ලක්මිගේ කටේ මාංශපේශී පිහිටීම අනුව මෙතරම් දුරකට තවරණයක් ලබා දීමට හැකියාවක් ඇත. සතුරා මිතුරු වෙසින් පැමිණ ඇති බවක් මට හැගෙයි.

කෙවිනාගේ ජීවිතය තව දුරටත් ආරක්ෂිත නැත. අපගේ නිස්කලංක දිවියට දැන් නොපෙනෙනා සතුරෙක් පැමිණ ඇත. මාකඳුරේ මධූෂ් නික්ම ගියාට පසු නැවතත් කෙළ පාතාලය හිස ඔසවා ඇත. කෙවිනාගේ හිතේ ඇත්තේ පළිගැනීමේ චේතනාවයි. හවස් වරුවේ සිට කෙවිනා ඉලක්කයට කෙල ගසා පුහුණුවන්නේ නාදුනන සතුරාගෙන් කෙදිනක හෝ පළිගන්නා බවට කෙරෙන සළකුණක් ලෙසින්ය. මා දැන් වෙනදාටත් වඩා අවධානයෙන් සිටිය යුතුය.

දැන් වේලාව රාත්‍රී 1ට ආසන්නය. මා වෙනත් වැඩක් කරනා ගමන් මේ දිනපොත ලියයි. කෙවිනා Age of Empire ගේම් එක ගසයි. ඌ ගමක් සාදා එය දියුණු කර ඌ වැනිම ශිෂ්ඨාචාරයක් ගොඩනාගත් පිරිසක්ව මරා දමයි. ඉන් පසු ඌ දිනුම්ය. අපි දිවි ගෙවනා සමාජයත් එසේමය. අපගේ ලෝකයට වඩා හාත්පසින්ම වෙනස් වූ ලෝකයක සිටින්නේ ලක්මි පමණි. එය වෙනත්ම ග්‍රහලෝකයකි. තවමත් ලක්මිව සැකකටයුතු ලැයිස්තුවෙන් ඉවත් කල නොහැක.

දිනපොත නීරස වනවාට මා කැමති නැත. ඒ නිසා වැදගත් සිදුවීම් පමණක් මා ලිවීමට තීරණය කලෙමි. YouTube එකේ ඇති දහසක් Gossip Channels වලට වඩා Blog එකක් කියැවීමට සමාජය පෙළඹවීම මාගේ ලොකුම සිහිනකි.

කියැවීමේ කවුන්ටරය වැඩි වන තරමට මාගේ සිතේ සතුටක් ඇති වෙයි. එය සෑම දිනකම හවසට කෙවිනා ලබා ගන්නා පැය භාගයක උණු වතුර ස්නානය හා සමානය. ඒ වෙන කිසිවක් නිසා නොව, සුමතිලාගේ, MAS ලාගේ සහ සමන්ලාගේ කතා තවත් ලෝකය වෙත ගෙන යෑමේ සතුට නිසාවෙනි. එමෙන්ම උස බිල්ඩින් වලින් පහලට කෙළ ගැසීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිමි.