දවස ආරම්භ වුණේ ජනක අපගේ සීනුව නාද කරනා සද්දයෙනි. කෙවිනාගේ යෝධ අඩි ශබ්ද දොර දෙස ඇදෙනු මට නින්දෙන් ඇසුනි. නැවතත් ඒ අඩි ශබ්ද මා අසලට එන ශබ්දයත් මට ඇසුනි.

“මචං. ජනක කතා කරනවා…”

උදෑසනම කිසිවෙක් මා හට අමතනවාට මම ප්‍රිය නැත. දවස ආරම්භ වන්නට මට ටික වේලාවක් අවශ්‍යය. නිදිිගැට කඩමින් මා දොර වෙත පිවිසුනෙමි.

ජනකයා මට දිස්වන්නේ දේව රූපයක් මෙනි. එක් අතකින් කේක් ගෙඩියක් ඇත. අනිත් අතින් අපගේ උදෑසන ආහාර වේල ඇත. ඔහුගේ පිටුපස තඩි ට්‍රොලියකි. ඒ මදිවාට ඌ සිටින්නේ පිටසක්වල ඇඳුම ඇඳලාය.

“හැපි බර්ත් ඩේ….” ජනකයා සිනාසෙයි.

අද මාගේ 28 වැනි ජන්ම දිනයයි. අම්මා නම් ඉස්සර කියන්නේ මේ 29 කියලාය. ඇගේ ගණන් හැදිල්ලේ පදනම මා නොදනී. කේක් ගෙඩිය සූදානම් කර ඇත්තේ කෙවිනා සහ ශෙහානිය. කෙවිනාට කෙතරම් මඩ ගැසුවත් ඌ මට ආදරේය. එසේ සිතමින් කේක් කෑල්ලක් රස බලන්නට හදනා විට එය චීස් කේක් එකක් බව දැනගතිමි. කෙවිනා උගේ පළිගැනීම සිදු කර ඇත.

පසුගිය සති අන්තය ගෙවුනේ ඉතාමත් කාර්යයබහුල ආකාරයටය. කෙවිනා සහ මම මෙහි සිටිනා සියල්ලන්ගේම සිත් සනසනු පිණිස පොඩි වීඩියෝවක් යැව්වාය. ඉමන්ති බැණ්නේ උඩුකයට වස්ත්‍රයක් නැතිව සිටීම නිසාවෙනි. මරීස් බැන්නේත් ඒ හේතුවටමය. දිනපතා ඇඳුම් ඇන්දොත් ඒවා හෝදන්න වෙන කරදරය ඒ දෙදෙනාම දන්නේ නැත.

අපට දෙන ආහාර ඉතාමත් හොඳ මට්ටමක ඇත. එහෙත් දවසක් දෙකක් ගිය පසු මා හට ගෙදර පිසූ මෙලෝ රහකට නැති ආහාර වල රස මතක් වෙයි. කෙවිනා නම් කෑම ගෙන මැසිවිලි නොනගයි. උගේ කෑම එකෙන් ඉතුරු වන දේ කාමරයෙන් එළියේ තබයි. කෙවිනාගේ බුෆේ එකෙන් කන්න එන්නේ ලේන්නු දෙන්නෙක්ය. උන් කෙරෙහි අනුකම්පාවෙන් මා අද ගස්ලබු කෑල්ලක් තැබුවත් උන් කෑවේ කෙවිනාගේ ක්‍රීම් බනිස් කෑල්ලය. මුන්ට ගෑස්ට්‍රික් හැදුනු දාක මාව මතක්වනු ඇත.

සති අන්තයේ දිනපොත නොලිව්වාට කිහිප දෙනෙක් කතා කර දෝශාරෝපණය කලාය. තවත් අය විමසන්නේ මොකට දවස ගානේ ඔය විකාර ලියනවාද යන්නයි.

“ඒක තමයි මහත්තයෝ අපිට තියෙන එකම සතුට” යැයි ඔවුන්ට මම පිළිතුරු දෙන්නෙමි.

අද උපන්දිනය කියා මහා වෙනසක් නැත. ලෝකය එලෙසම කැරකෙයි. හැම දෙයක්ම එකම විදිහට සිදුවෙයි. නමුත් එය ලක්මිට නම් සෑහෙණ විනෝදයකි. ඇමතුම් ගන්නා ගන්නා වාරයක් පාසා ඇය මට සුභ පතයි.

ලක්මී ගෙන ලියූ නිසා ඉමන්ති අමනාප වී ඇත. ඇය ගෙන ලියන්නට නම් ඩයරියක් මදිය. ඉමන්ති මාගේ සහ කෙවිනාගේ ලොක්කීය. ඒ වුණාට ඈගේ කිසිම බොරු ලොකු කමක් නැත. ඇය අපට නිතරම වද දෙයි. අප දෙදෙනාගේ අවධානය ඇයගෙන් වෙනතකට යොමු වුවහොත්, කුමක් හෝ වැඩක් පවරමින් නැවතත් ඈ වෙතට අවධානය යොමු කර ගනියි. ඈ හීන්දෑරිය. වැඩ වැඩි, නිදි නැති දින වලට සුදුමැලිය. ඉමන්ති කිසි දිනෙක වැඩ නැතිව නිදහසේ සිටිනු මා දැක නැත.

නිතරම ඉමන්තිට අළුත් අදහස් එයි. ඒවා ආ වහාම ඇය කරන්නේ ඇගේ සමීපතමයන්ට ඒ ගෙන පවසා සියළු දෙනාවම කැළඹීමය. අවසානයේ අපි සියළු දෙනාම තදියම් වූවාට පසු ඇයම අපට කළබල නොවී අවබෝධයෙන් තීරණ ගන්නා ලෙස පවසයි. අප මහන්සි වී වැඩ කරනවාට ඇය අපට මයිලෝ කප් කේක් ලබා දෙයි. ඉමන්ති අපව ලොකු තැන් වලින් ආරක්ෂා කරයි. ඉමන්ති අපට කරදර කරත් ඇය යහපත් කෙනෙක් බව අප දනියි. මමත් කෙවිනාත් ඇයට කැමතිය.

ගෙන ආ පොත් එකිනෙක හෙමින් ඉවර වෙයි. තව දින 8ක් මෙහි සිටිය යුතුවේ. මුහුදු සුළග දැන් දැන් හුරු වෙමින් පවතියි. එහෙත් නැවතත් අංගොඩ වෙත යා යුතුය. අද දිනයේ මා හට සුබ පැතූ ඔබ සැමට ස්තුතිය පුද කරමි. යලිත් දවසක හමුවෙමු.

Sponsored contents are in Bold letters. Contact me or Kewin for promotions