දිනය : ඔක්තෝබර් 16
ස්ථානය : ආරක්ෂක හේතූන් නිසා නොපවසමි

කෙවිනා දැන් සුපර් ස්ටාර් කෙනෙක් තරම් ප්‍රසිද්ධ වෙලාය. උගේ කතාවට හොඳ ප්‍රතිචාර බොහෝමය. දවසක් දෙකක් විවේකයක් ගෙන නැවත ලියන්නට පටන් ගත යුතුය. නැතිනම් මූව අල්ලන්නට වෙන්නේ දැල් දාලාය.

අද දවස ගෙවුනේ වැඩ රාජකාරී වලම පමණි. කෙවිනා සහ මම ගෙවන්නේ බරපතල වැඩ සහිත සිර දඩුවමකි. වැඩි සිදුවීම් නොවනා මේ කාමරය අලංකාර කරන්නේ පුංචි පුංචි සිදුවීම් වලිනි. අපගේ අළුත් කාමරයේ නාන කාමරය පිරිසිදුය. සුමති වාසය කරන්නේ එතැනය. දත් මැදීමට ගිය වෙලේ සමහර විටෙක සුමති බිත්තියේ සිටිනු අපට දක්නට ලැඛේ. අද එළියේ වැඩ කරනා විට කෙවිනාගේ ලැප් එක මතක සුමති කළු සුදු ඛෙට්ටක් දමා ඇත. ඒ වෙන අයෙකු විය යුතුය. සුමති අපට එසේ කරන්නේ නැත.

අපගේ මිදුලේ සිටින තවත් මිතුරන් තිදෙනෙකි. එකෙක් සමන්ය, ඌ අප දෙන කෑම කන්නට හොරෙන් පැමිණෙයි. අනෙකා MASය. ඌ අප අසලකටවත් නොපැමිණෙයි. උගේ හෙණ ගණන්ය. අනිකාට තවමත් නම් තැබුවේ නැත.

ජනකට අමතරව අප අසල සිටිනා අනෙක් මනුස්ස පරාණය ලක්මිය. අපේ වැට මායිමට ගොස් අංශක 25ක් පමණ වමට හැරී උඩ බැලුවොත් ලක්මිගේ බැල්කනිය දිස්වෙයි. ලක්මි ආතල්ය. කොටුවී සිටීම ඇයට කල නොහැකි දෙයක් වුවත් ඒවාට හරියන්න අමුතු එක එක සුකුරුත්තම් වැඩ ඇය සොයා ගනියි. හවස් වරුවේ ඇය බැල්කනියට පැමිණෙයි.

“සැන්දෑ අහස වගේ සැරසී මට ඉන්න කියා, කියන්න ඇයි ඔබ නාවේ”

වැනි මූණක් හදාගෙන අපට කෑ ගසමින් වද දෙයි. ලක්මිට කිසිවක් කියන්නට බැරිය. තරහට කෙල ගැසුවොත් ඒවා උඩ සිට හිරිපොද සේ වැටෙන්නේ අපගේ මුහුණටය.

දැන් කෙවිනාට කෑම කාලාම එපා වී ඇති හැටියකි. අද ඌ කෑම බොහෝමයක් එපා කීවේය. හවස් වරුවේ ඌටම සිතී ව්‍යායාම වල යෙදෙන්නට අවශ්‍යය බව පැවසුවේය. මා හට උපතින්ම ඇත්තේ කෙසග ශරීරයකි. කෙවිනාට ඇත්තේ බද්ධ කල යෝධයන් දෙදෙනෙකු වැනි විශාල ශරීරයකි. එහෙත් කෙවිනාගේ ව්‍යායාම උපදේශකා මමය.

මට අතීතයේ පාසලේ සිටි රගර් ගැසූ උන්ව සිහිවේ. අද සමාජයේ ප්‍රසිද්ධ රගර් ක්‍රීයකයෝ කිහිප දෙනෙක්ටම මම උපකාර කර ඇත. ජිම් එකේ ඇති සියළුම බර දමාගත් පසු, ශරීරය බැලන්ස් වන්නට මාව උන්ගේ ඇග උඩ නංවා ගනියි. එහෙත් කෙවිනා එපමණ පරිණත නැත. එම නිසා මා කෙවිනාගේ සහාය උපදේශකයාය.

හෙට උදාවන්නේ නිවාඩුවයි. එහෙත් අපට නිවාඩු නැත. දෙදෙනක් විවාහයට පෙර එක ගෙයි වාසය කල යුත්තේ මෙන්න මේ නිසාවෙනි. දෙදෙනාගේ වැඩ ප්‍රමාණය අවබෝද කරගත යුතුය. දෙදෙනාගේ ජීවන රටා තේරුම්ගත යුතුය. ජීවත් වීම කියනා තරම් ලේසි නැත. එය කාලයක් එකට සිටීමෙන් ඉගෙනගත යුතු විශයකි.

අදට නවතිමි. නැවත ලබන සතියේ හමුවෙමු..