දිගු කාලයක නිහැඩියාවකට පස්සේ ආයෙමත් ලියන්න පුළුවන් තරමට හිත එක්තැන් වෙලා. හැබැයි ආරම්භ කරන්න යන කතාව නම් එච්චර සුභ වෙන එකක් නැහැ. කොහොමත් මේ මාතෘකාව ගෙන මම දරණ මතය මගේ වටේ නිතර ආශ්‍රය කරන අය හොඳාකාරවම දන්නවා. මේක කියවලා අහක බලන් ගියාට කමක් නැහැ. නමුත්, පැටලිලි සහගත දෙයක් තියෙනවා නම් අහන්න. වැරැද්දක් තියෙනවා නම් කතා කරමු. මොකද එකම දේ නිතර කියනවාට වඩා මේකේ ලින්ක් එක දීලා එන එක මට වඩා ලේසියි නිසා. මේක ගෙන කතා වෙන අවසාන වතාවත් මේකම වේවි.

ගෞරවය එකිනෙකාට අනුකූලව වෙනස් වන දෙයකි. මිනිසුන් පවා එකිනෙකාට ගෞරව කරනා විධි පුද්ගලානුබද්ධ වේ. මා අනුගමනය කරන සරලම ආකාරය නම් යමෙක් මට ගෞරව කරයිද? එසේ නම් මාද ඔහුට හෝ ඇයට පෙරලා ගෞරව කරන්නෙමි යන පිලිවෙලයි. එවිට ඒ අනෙක් පාර්ශවය ස්ත‍්‍රියක්ද පුරුශයෙක්ද යන පදනමෙන් නොව, ඒ පුද්ගලයාගේ ඇති මානුශීය ගුණයට මා පෙරලා කරන ගෞරව දැක්වීමකි. බොහෝ අවස්ථාවලදී මේ ප‍්‍රතිපත්තිය නිසා, තමා ස්ත‍්‍රියක් වූ පමණින් අනෙක් පිරිස් ඇයට විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය යැයි සිතනා කාන්තාවන් මා සමග අමනාප වීම සුලභ කාරණයකි.

අද සමාජයේ බොහෝ දෙනා කතා වන මේ Feminism ගැටළුව ගෙන මමත් මාගේ මිත‍්‍ර මනිලත් කලා බහ කලේ බොහෝ ඈත කාලයේ සිටන්මය. Feminist සහ Feminazi යන වර්ග දෙකම අද අච්චාරු වී ඇති නිසා බොහෝ දෙනා කාන්තා විරෝධීන් ලෙස අපව හංවඩු ගසා ඇත.

සෑම දර්ශණයක්, නැතිනම් ism එකකටම ස්ථාවර පදනමක් තිබිය යුතුය. Socialism, Capitalism හෝ Islamism වැනි ism වර්ෂ ගණනාවක් පුරා පවත්නිනේ එකී ස්ථාවර පදනම නිසාවෙනි. පුද්ගලයෙක් මිය ගිය පමණින් විනාශ වන දෙයකට වඩා අදහසක් මගින් ප‍්‍රචලිත වන ism බලපවතින්නේ ඒ බැවිනි. Feminism ඇති වන්නේ Consumerism වල අතුරු ඵලයක් ආශ‍්‍රයෙනි. ලොව බලවත්ම ගැණුම්කරුවා වන ගැහැණියව ග‍්‍රහණය කරගන්නා ව්‍යාපාර, ඇයව දිරි ගන්වන මුවාවෙන් ඇයගේ භාවය වෙනස් කරමින් නැති තර්ජනයක් මවා පාමින් ඇයව ස්වාධීන කරයි. කාන්තාව එදා පටන් ස්වාධීනය. ඇය ශක්තිමත්ය. රාජ්‍යය පාලනයේ සිට සියළුම ක්‍ෂේත‍්‍ර වල ස්වාථීනව සහ ශක්තිමත්ව සිටි කාන්තාවන්ව බටහිර Consumerism වල ගොදුරක් කලේ මේ පද්ධතියයි. තමා කොටු කර ඇති රාමුවෙන් මිදීමට උත්සාහ කරනා ඔවුන් කොටු වන්නේ ඊටත් වඩා විශාල රාමුවක බව ඔවුන්ටත් වැටහෙන්නේ පසුවය.

සමාජය පවතින සිස්ටම් එක, පෙර කී Feminism සහ Consumerism එකිනෙක හා බැඳී ඇති ආකාරය මේ මගින් සරලවම විස්තර කලෙමි

බොහෝ විට Feminism වල අරමුණ විමසූ විට කාන්තාවන් ලබා දෙන පිළිතුරු කිහිපයකි.

කාන්තාවන්ට අසාධාරණයක් නොමතිව සමාජයේ ඉදිරියට යාම
කාන්තාවන්ට වන හිංසනය වෙනුවෙන් එරෙහි වීම
කාන්තාවන්ට අසාධාරණයක් නොමතිව සමාජයේ ඉදිරියට යාම
ඔබ දක්‍ෂයි නම්, ඔබට හැකියාවක් ඇතිනම් කිසි කෙනෙක් ඔබව කාන්තාවක් කියූ පමණින් පහත හෙලන්නේ නැත. පිරිමියෙක් වූ පමණින් ඔබට සියල්ල පහසුවෙන් ලැබෙන්නේ නැත. සමහර විට පිරිමියාට නැති සැලකිල්ලක් කාන්තාවකට ලැබෙන අවස්ථා මා දැක ඇත. බහුතරයක් කාන්තා පාර්ශවය සමග ගණුදෙනු කෙරෙනා මාගේ වෘතියේ මා අනන්තවත් දිරිය කාන්තාවන් දැක ඇත. ඔවුන් තමන්ගේ හැකියාවෙන්, උත්සාහයෙන් තම අරමුණ කරා වැඩ කිරීමෙන් සාර්ථක වූවා විනා කිසිවෙක් ඔවුන්ගේ කකුලෙන් ඔසවා ඉහලට තබා නැත. කාන්තා දිනය දවසේ කාන්තාවන්ම පමණක් යොදාගෙන ක‍්‍රියා කෙරුණු ගුවන් යානය වැනි ක‍්‍රියාවන් රාශියක් සිදුකලේ ඔවුන්ගේ හැකියාව නිසාවෙනි. එවැනි දෙයකට ගරහන බොහෝමක් දෙනා එය පිරිමියෙක් සිදුකලත් ගරහන ආකාරයේ පිරිස්ය. තම හැකියාවන් තමා දියුණු කරගෙන සමාජයේ වැඩිදියුණුව සඳහා යොදවන්නේ නම් ඔබට එකී ගල් ගසනා සුළුතරය පිලිබඳව සිතීමටවත් අවශ්‍යය නැත.

එකී දිරිය කාන්තාවන් බහුතරයක් තමාගේ පවුලත් සමගම සාර්ථක වූ පිරිස්ය. ඔවුන් My life My choice යන බයිලාවට වඩා තමාවත් තමා වටා සිටින අනෙක් පිරිසවත් දියුණු කරගනිමින් නැගී සිටියෝය. මෙවන් කාන්තාවන් බොහෝමයකගේ කතා මා වීඩියෝ වලට නගා ඇත. ඒ හැම කෙනෙක්ගේම පිටුපස තිබුනේ උත්සාහවන්තකම සහ ධෛර්යය මිස වෙනත් කිසිවක් නොවේ. කාන්තාවත් දක්‍ෂය නම්, ඇය ධෛර්යවන්තයි නම් ඇය නැවතිය හැකි කිසිවක් නැත. තමාගේ අදක්‍ෂ කමක් හෝ අනුවණ කමක් නිසා තමාට ඉදිරියට යාමට නොහැකි වීම කාන්තාවක් වූ නිසා වන අසාධාරණයක් ලෙස පෙන්වීම නටන්න බැරි මිනිහාට පොළව ඇදයි වැනි කීමයි.

කාන්තාවන්ට වන හිංසනය වෙනුවෙන් එරෙහි වීම
කාන්තා හිංසනය වැරදි ක‍්‍රියාවක් බව යලි යලිත් පැවසීමට අවශයය නැත. සිත්ගන්නා පෙනුමෙන් යුතු තරුණියක් දුටුවහොත් ඈ දෙස මා පවා බලනවා ඇත. නමුත් එපමනින් ඈව දූෂණය කිරීමට මා පෙලඹෙන්නේ නැත. ඒ ස්වයං පාලනයයි. එය පුද්ගලයාට අනුව වෙනස් වන කාරණයකි. කාන්තාවකට පමණක් නොව පිරිමියෙකුට පවා තමාගේ ආරක්‍ෂාව සහ නිදහස තිබිය යුතුවේ. එක ගැහැණියක් වරදක් කල පමණින් ගැහැණු සංහතියටම විරුද්ධව කතා කිරීමටවත් එක පිරිමියෙක් ගැහැණියකට කරදර කල පමනින් සියළුම පිරිමින් දෙස වපර ඇසින් බැලීමවත් විසඳුම නොවේ.

මෑතකදී ආරම්භ කෙරුනු කාන්තාවන්ට පමණක් වෙන්වුනු දුම්රිය පෙට්ටි ගෙන විවිධ මත මා දුටුවෙමි. එදා පටන් ගැහැණු පිරිමි වෙන් කර සෑදීමට උත්සාහ ගැනීමෙන් කලේ තව තවත් එකිනෙකා කෙරෙහි වෛරය ඇති වීමයි. මිශ‍්‍ර පාසලයකට ගිය කෙනෙක්ට එකී කිසි ගැටළුවක් නැත. කාන්තා පිරිමි දෙපාර්ශවයටම අනෙකා ගෙන හොඳ අවබෝධයක් ඇත. අද බොහෝමයක් ප‍්‍රශ්ණ වැඩි කරමින් දඟලන්නේ මෙසේ වෙන් කල හැදුනු සමාජ තත්වය නිසාවෙනි. කල යුත්තේ ප‍්‍රවාහන පහසුකම් සංවර්ධනය, ඔ්නෑම කෙනෙකුට ආරක්‍ෂිතව ගමන් ගැනීමේ හැකියාව සහ නිදහසේ ගමන් කිරීමේ අයිතිය මිස කාන්තාවක් වූ පමණින් වෙනම පෙට්ටියක යන්නට සැලැස්වීම නොවේ. බස් රථයකදී පවා පිරිමියෙක් කාන්තාවකට ඉඩ දුන්නා විනා කාන්තාවක් තවත් කාන්තාවකට ඉඩ දෙනවා මා දැක නැත. ඇයත් ගැහැණියක් නම් මමත් ගැහැණියක් ඇයි මම ඉඩ දෙන්නේ වැනි මාන්නයකින් සිටිනවා ඇරෙන්නට ස්ත‍්‍රීවාදීන් පවසනා “ඇය වෙනුවෙන් මම ආකල්පයක්” ඔවුන්ගේ නැත.

මේ ලියමන තොවිලයක් නම්, දැන් සෙත් ශාන්තිය අවසානය. මෙතෙක් කල් වැරදි ඇසකින් බලා අප කියනා දෙය වැරදියට තේරුම් ගත් සියළු ආතුරයින්ට සරලව පැවසුවේ

ඔබ දිරිය කාන්තාවක් නම්, ඔබ ඔබේ ගමන යන්න. එයට අවශ්‍යය උපකාරයක් අපෙන් අවශ්‍යය නම් අපට හැකි අයුරින් එය ඉටුකර දෙනු ඇත. ඔබට මගෙන් අසාධාරනයක් හෝ හිංසනයක් වූවා නම්, එය මාගේ වැරැුද්දකි. එය සමස්ථ පිරිමින් මත නොදමන්න.

දැන් පටන් ගන්නේ යකා එළවීමයි. යන කොට්ඨාශය අද Feminists ලෙස වෙස් වලාගෙන සිටින Feminazi පිරිසයි. ඔවුන්ගේ වර්ගීකරණය මේ ආකාරයෙන් දැක්විය හැකිය. මේ කොටස මා ලියන්නේ First Person කෝණයෙනි. ඔබත් මෙකී වර්ග වලට අදාල නම්, මෙය මා හා ගණුදෙනු කිරීමේදී යොදාගත හැකි උපදෙස් පොතක් ලෙස සලකන්න.

තමන්ගේ වියදම් තමන් බලාගන්නා නිසා, තමා ස්වාධීන සහ කිසිම පිරිමියෙකුට යටත් නොවනා බව කියනා පිරිස්
කිසිවෙක් ඔබට මුදල් හම්බ කරන්නට එපා කිව්වේ නැත. කිසිවෙක් තමන්ගේ ජීවිතයට බලපෑම් කරන්නට ආවේද නැත. කොටින්ම පැවසුවොත්, ඔබට වියදම් කිරීමට, ඔබට උපදෙස් දීමට තරම්වත් පිරිමියෙකුට ඔබට වටින්නේ නැත. (මෙහිදී පිරිමි යැයි මා අදහස් කලේ අද බොහෝමයක් සිටියා නිතර සෙල්ෆි ගසනා උන් නොවේ) ඔබේ දිවිය ස්වාධීනයි නම්, මරණය දක්වා ඔබ තනියෙන් ස්වාධීනව සිටින්නේ නම්, ඔබට අපගෙන් කිසිම බාධාවක් නැත. කරුණාකර ඔබගේ ලෝකය තුල ඔබ ජීවත් වන්න. යම් කිසි මොහොතක ඔබගේ තනි ජීවිතයේ පීඩනයක් නිසා මාගේ ජීවිතයට බලපෑම් කිරීමට ආවොත් එවිට මා නිහඩ නොවනා බවත්, ඔබට සියලු දේ තනියෙන් කරගත හැකි නිසා කාන්තාවක් කියා මා උදව් කල යුතු යැයි නොසිතන්න.

පිරිමි සහ ගෑණුන් සමාන බව සහ සම අයිතීන් ඉල්ලනා පිරිස්
මා කෙදිනකවත් මාගේ අම්මා මට සමාන යැයි පවසන්නේ නැත. ඇය මට වඩා උසස්ය. ඒ ඈ ගැහැණියක ව පමණින් නොව ඈ මා සමග මෙන්ම අනිත් අය සමග කටයුතු කල ආකාරය නිසාවෙනි. ඔබ කෙනෙක් හා සම තැන්ද උසස්ද යන වග තීරණය වන්නේ ඔබගේ ක‍්‍රියාකලාපය අනුවෙනි. මා ඔබගේ ක‍්‍රියා කලාපය අනුව ඔබට නිසි තැන ලබා දී ඇත. පිරිමියා කරනා හැම දේම ගැහැණියට කල හැකි බව මිත්‍යාවකි. සමහර දෑ ගැහැණියකට ඊටත් වඩා හොඳින් කල හැක. මේවා සියල්ල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන්ස් දේවල් වේ. ඔබ හොඳින් ප‍්‍රගුණ කල දෙයක් වේ නම්, මා ඔබට ඒ ගෙන මුල් තැන දෙන්නෙමි. එයට කාන්තා පුරුෂ භේදයක් අදාල නැත. නමුත් ඔබ නොදන්නා දෙයක් මා දන්නා නිසා එය කිරීමට ඉඩ නොදීම කාන්තාවක් වීම නිසා ඔබට කරන අසාධාරණයක් බව නොසිතන්න.

වචනයක, දැන්වීමක හෝ රූපයක කාන්තාවකට වන අසාධාරණය ගෙන කියවමින් එයට සටන් කරනා පිරිස්
අප ජීවත් වන්නේ සංකේතාත්මක ලෝකයක් තුලය. යම්කිසි දේවල් නිරූපණය කරන්නේ ඔබට අසාධාරණයක්වත්, ඔබට කරන පහරදීමක් වත් නිසා නොව එය හුදෙක් සංකේතයක් නිසාවෙනි. යම්කිසි සලකුණක් හෝ වචනයක් පවා ස්ත‍්‍රී පුරුෂ දෙපාර්ශවයටම පොදු පරිදි සැකසිය යුතු යැයි නියමයක් නැත. එවැනි දේවල් වලින් ඔබ සැලෙන්නේ ඇයි? ඔබ ශක්තිමත් කාන්තාවකි. ඔබ පවසනා ආකාරයට ඉදිරියට Hanuman නම පවා Hanuwoman ලෙස වෙනස් කර සමානාත්මතාවය පෙන්විය යුතුය.

ලස්සන සියළුම ස්වරූප වලින්, සියළුම ප‍්‍රමාණ වලින් එන බව පවසා සියළුම අසම්පූර්ණ දෑ සම්පූර්ණයි යැයි පවසන පිරිස්
ලොව සැම දේකම දෙආකාරයක් ඇත. කළු සුදු මෙන් ලස්සන අවලස්සන ඇත. මට අවලස්සන දේ ඔබට සහ වෙනත් අයට ලස්සන වනවාට මට ගැටළුවක් නැත. නමුත් මට අවලස්සන දෙය ලස්සනයි යනුවෙන් තහවුරු කරන්නට උත්සාහ නොගන්න. ඇසිඩ් වලට ගොදුරු වූ කාන්තාවක් තම ජීවිතය නැවත ගොඩනගාගෙන ජීවිත ගෙන යන්නේ නම් ඇගේ ධෛර්යයට මා ගරු කරමි. නමුත් ඇයගේ මුහුණ මට අවලස්සනය. මා කුඩා ශරීරයක් ඇති කෙනෙක්මි. මා ස්ථුල කාන්තාවන්ගේ ලස්සනක් ඇති නම් එය අගේ කරමි. නමුත් අතිශ්‍යය ස්ථුල කෙනෙක් නම් එය අවලස්සනයි නම් එයත් පැවසීමට පසුබට නොවෙමි. ඇයව මට වඩා පෘශ්ඨිමත් ශරීරයක් ඇති කෙනෙක්ට ලස්සන වන්නට ඇත. එමෙන්ම ඔබට නොගැලපෙන විලාසිතාවක් කර මා එයට උපහාස කල නිසා මා සමග උරණ නොවන්න.

වෙනත් රටවල් වල ආයතන සහ සංවිධාන වල ප‍්‍රවර්ධන කටයුතු වෙනුවෙන් කාන්තා අයිකීන් සුරකින පිරිස්.
ඔබලා වෙනුවෙන් වචන නාස්ති කිරීමටවත් මා කැමති නැත. ඔබලාගෙ මුදල් ලැබෙන ඇජෙන්ඩා වලට ඉත්තන් වෙමින් නැති ප‍්‍රශ්ණ ඇති කරනවාට වඩා ඇත්තටම උපකාර අවශයය කාන්තාවන් වෙනුවෙන් දෙයක් කරන්නට උත්සාහ ගන්න. ගම් වල අසරණ කාන්තාවන්ට පිරිමියාට යටත් නොවන ලෙස උගන්නනවාට වඩා පවුල් සැලසුම් කියා දෙන්න. මෙවන් බොහෝමයක් ඇජෙන්ඩා අතර වැදරගත් සේවයක් කරන ආයතන කිහිපයක් ඇත. ඒවා වලට මේ දෝශාරෝපණය අදාල නොවන බව සලකන්න.

දිරිය කාන්තාවන් ලෝකයට දායාදයකි. මෑතකදී කාන්තා දිනය වෙනුවෙන් එවන් කාන්තාවන් රාශි‍්‍රයකගේ කතා වීඩියෝවට නගන්න මට අවස්ථාව උදා විය. එදා මට තවත් තහවුරු වූයේ ඔබ කාන්තාවක් වුවත්, පිරිමියෙක් වුවත් ඔබගේ සාර්ථකත්වය රඳා පවතින්නේ ඔබගේ උත්සාහය සහ කැපවීම මත පමණක් බවයි. කුඩා කල පාසලේ පටන් ඇති කරනා මේ ස්ත‍්‍රී පුරුෂ ගැටුම අදටත් තත්වය දරුණු කරනවා හැරෙන්නට සාමාදානයට පත් කරනා පිරිස් අල්පය. ව්‍යාපාර මෙය ඔවුන්ගේ දඩ මීමා කරගනිමින් ආදායම් තර කරගන්නා අතර, එයට හසුවන කාන්තාවෝ දහස් ගණන් තමන්ගේ පවුල් ජීවිත නැති කර ගනිමින්, තමන්ගේ හැකියාවන් වලට වඩා තමන්ගේ වැරදි පෙන්වා දීම ගෙන උරණ වෙමින් මේ ප‍්‍රශ්ණය තවත් දුර දිග ගෙනයයි.

ස්වභාවධර්මයා කාටත් පොදුය. ගැහැණිය සහ පිරිමියා භාවයන් දෙකකින් මවන්නේ එකී හේතුව නිසාවෙනි. භාවයන්ට කොටු විය යුතු නැත. නමුත් භාවයන් පසෙකලා යන ගමන නතර වන්නේ එකී කොට්ඨාශය මුලිනුපුටා දමමිනි.