මා සිනමාව පිළිබඳව මහා දැනුමැත්තෙක් නොවේ. වසර 3ක් පමණ කලක පටන් මෙහි යම් යම් දෑ කරමින් ලබා ගත් අත්දැකීම්ද, රජයේ සිනමා පාසලකින් ලබාගත් ඩිප්ලෝමාවකින්ද, සාමාන්‍ය මට්ටමේ සහතික හා සම්මාන කිහිපයකින්ද යුතු පුද්ගලයෙකු සහ සිනමාවට ආදරය කරන කෙනෙක් යන පදනම මත මේ ලිපිය ලියමි.


සිනමාශාලාවක සිංහල චිත‍්‍රපටයක් තිරගත වන අවස්ථාවක පේ‍්‍රක්‍ෂකාගාරය දෙස බැලූ විට සිංහල සිනමාව අද පත්ව ඇති තරම ගෙන තේරුම් ගැනීමට මහා බුද්ධියක් අවශ්‍යය නැත. එය එසේයැයි කියා අතහැර දැමිය නොහැක්කේ හවුස් ෆුල් වන තරමේ සිංහල චිත‍්‍රපට පෙන්වූ ඉතිහාසයක් අප හට තිබුණු නිසාවෙනි. එසේ පැවති සිනමාව අද වන විට මේ තරම් අරාජික වී ඇති හේතු මොනවාද?

කතාන්දර කීමේ කලාව
චිත‍්‍රපටයක් කතාන්දරයක් විය යුතුම නැත. එහෙත් අප සමාජයේ බොහෝ දෙනා බැලූ කල පේ‍්‍රක්‍ෂකාගාරය රූපයක් තුලින් තේරුමක් උපදවාගැනීමේ පරිකල්පන ශක්තියක් නොමැති බව මා හට හැඟී යයි. යටගිය දවස බරණැස නුවර, එකේමත් එක කාලෙක යැයි කුඩා කල පටන් කතාන්දර අසා පෝෂණය වූ සමාජයක් අද නොමැත. එහෙත් අදටත් අපේ ජනතාව කතාන්දර වලට ආශා කරති. අපේ බොහෝමයක් චිත‍්‍රපට වල මේ කතා කීමේ ශෛලිය ගිලිහී ගොස් ඇත. යම් යම් සිද්ධි කිහිපයක් එකට අමුණා පෙන්වූ පමණින් එක කතාවක් නොවනවා සේම කතාව පවසන්නා එක පවසන්න තෝරා ගන්නා ආකාරයත් අනුව පේ‍්‍රක්‍ෂකයා චිත‍්‍රපටයට බැඳෙනා ආකාරය තීරණය වෙයි. අද වන විට මේ කතාන්දර කීමේ හැකියාව අපගේ සිනමාව තුල ගිලිහී යමින් පවතී.

කලබලකාරී ජීවන රටාව
අද කාලයේ චිත‍්‍රපටියකට වඩා කෙටි වීඩියෝවක් වඩා ජනප‍්‍රිය වන්නේ ඇයි. සිනමා අධ්‍යක්‍ෂකවරුන්ට වඩා වස්ති ප‍්‍රඩක්ෂන්ස් ප‍්‍රසිද්ධ වන්නේ ඇයි. අද අප පුරුදුව සිටින්නේ ඉතාමත් කලබලකාරී ජීවන රටාවකටය. මෙහිදී පැය 2ක පමණ වේලාවක් වැය කර චිත‍්‍රපටියක් නරඹනවාට වඩා විනාඩි 2ත් 3ත් අතර කෙටි ආශ්වාදයකට ජනතාව හුරුව ඇත. අද හැම තැනම ඇති ක්‍ෂණික ආතල් තියරිය මෙතැනටත් බලපා ඇත. මේ රටාව තව දුරටත් වැඩි වනවා ඇරෙන්නට අඩු වීමක් දක්නට නොලැබෙන අතර අපගේ චිත‍්‍රපටද හොලිවුඞ් රටාවට අනුකූලව පැය එකහාමාරකට පමණක් සීමා විය යුතුය.

මූලික අවශ්‍යතා සංතෘප්ත නොවීම
Maslow’s hierarchy of needs හී ඇති මිනිස් අවශ්‍යතා සංතෘප්ත වන විවිධ තලයන් මදක් අධ්‍යයනය කරන්න. මිනිසා තමන්ගේ ආහාර, පරිභෝජන, ආරක්‍ෂක, සෞඛ්‍යය වැනි අත්‍යාවශ්‍යය දේවල් සම්පූර්ණ වනතෙක් විනෝදාස්වාදය සහ අන් අයගේ සතුට ගෙන නොසිතයි. එසේනම් රසාස්වාදය ලබාගැනීමට ප‍්‍රථමයෙන් පේ‍්‍රශකයාගේ මූලික අව්‍යයතා සම්පූර්ණ වී තිබිය යුතුය. එකල සිනමාව කොළඹ ඉහල සමාජය අතර ජනප‍්‍රය වීමට ප‍්‍රධාන කාරණාවක් වූයේ මේ මූලික අවශ්‍යයතා සම්පූර්ණ වූවාට පසුව ඇති තරමක් ඔවුනට විවේක සුවය තිබීමයි. ඔවූහු එය රසාස්වාදය, සෞන්දර්්‍යය හා විනෝදාස්වාදය වෙනුවෙන් වැය කලහ. එහෙත් අද සමාජයේ මූලික අවශයතා සම්පූර්ණ කරගැනීමට මිනිසා කරන තරඟය අතර විවේකයට වෙලාවක් නැති තරම්ය. එවැනි සමාජයක විවේකය චිත‍්‍රපටියක් සඳහා වැය කරන්නට ඇති ඉඩ බොහෝ අඩුය.

ශ්‍රේස්ත‍්‍රය සහ කර්මාන්තය
මා එදා සිට අද දක්වා පවසන කරුණක් නම් අපට සිනමා කර්මාන්තයක් දැන් නොමැති බවයි. කර්මාන්තයක මූලික දේවල් ලෙස එයටම අනන්‍ය වූ පැවැත්මත් තිබීම. ඒ තුලින් බිහි වූ රැුකියාවන් එකිනෙක හා බැඳී තිබීම, එයටම ආවේණික වූ මුදල් ප‍්‍රවාහයක් තිබීම සහ විශේෂයෙන්ම එකම අරමුණක් වෙනුවෙන් ක‍්‍රියා කරන පිරිසක් එහි සිටීම වැනි කරුණු අද අපගේ සිනමාවේ නැත. අද මෙය හුදෙක්ම ශ්‍රේස්ත‍්‍රයක් පමණි. ආචාරධර්ම පිරිහී ගිය, විනයක් නැති පිරිසක් විසින් තමන්ගේ පෞද්ගලික අභිමතාර්ථය උදෙසා තමන්ගේ කලාව පමණක් හරි යැයි පවසමින් ක‍්‍රියා කරනා පටු ශ්‍රේෂ්ත‍්‍රයක් බවට පත්ව ඇත. මේ සඳහා මනා පාලන අංශයක් සහ නීති රීති මාලාවක් යටතේ ක‍්‍රියාකරවීම අත්‍යාවශ්‍යය වේ.

සරස්වතී සහ ලක්‍ෂ්මි.
කලාව ඇති තැන මුදල් නැත යන මතය මා තදින් බැහැර කරමි. අතේ රුපියල් සියයක් නොමැතිව ඔබ කොතරම් ලෝක ප‍්‍රසිද්ධ කතා කාරයා වුවත් වැඩක් නැත. අභියෝගය වන්නේ දිගටම චිත‍්‍රපට කිරීමටය. මහා වියදමක් දරා එක හොඳ එකක් කිරීම අනුවණකමයි. අද අපගේ නියම කලාකාරයා නිර්මාණය හරිහැටි විකුණන්නට දන්නේ නැත. ඔහු තමාගේ සම්පත් මනාව කළමනාකරණය කරන්නට දන්නේ නැත. කලාව නොදත් විකිණිම ප‍්‍රගු කල අය අද මෙහි රජකම් කරන්නේ ඒ නිසාවෙනි. නියම කලාකරුවා තමන්ගේ නිර්මාණයත් රැුකගෙන තමාගේ මූල්‍යමය තත්වයත් රැකගන්නා තරමට සූක්‍ෂම විය යුතුය

ෆිල්ම් ෆෙස්ටිවල් මාෆියාව.
මාගේ මිත‍්‍ර සචිත සුදුගේ දිනක් මා හට නිරතුරුවම කියනා සහ මාලක දේවප‍්‍රිය විසින් ප‍්‍රසිද්ධියේම පැවසූ චිත‍්‍රපට උළෙලවල් වල මාෆියාව අද දරුණු වශයෙන් ව්‍යාප්තව ඇත. තමාගේ මතයට අනුකූලව සහ තමාගේ යටි අරමුණු වලට අදාලව චිත‍්‍රපට සාදන අයව ඉදිරියට ගෙන ඒමට පමණක් සහ හුදු වාණිජමය අතින් වාසි ලබා ගැනීමට පමණක් සංවිධානය කෙරෙන සමහර චිත‍්‍රපට උළෙලවල් නිසා අංකුර නිර්මාණකරුවන් බිහිවනවාට වඩා අධෛර්්‍යයට පත්වනවා වැඩිය. රාජ්‍යය මට්ටමෙන් නොව පෞද්ගලික මට්ටමෙන් සිදුවන මෙවැනි ක‍්‍රියා නිසා නවක පරපුරක් ලෙස බිහිවන්නේ ඔවුන්ගේම ගෝලබාලයින් පිරිසකි.

මාධ්‍යය භාවිතයේ නිදහස
මාධ්‍යයක් යනු දෙපැත්ත කැපෙනා ආයුධයකි. චිත‍්‍රපටයකින් සිදුකල හැකි වෙනස දීර්ඝකාලීනව කෙනෙක්ගේ ජීවිතයට බලපාන වෙනසක් විය හැක. විවෘත මනසක් ඇතිව නිර්මාණ බිහිවන්නේ විධිමත් ලෙස සමාජයේ යහපත උදෙසා බිහිවන නිර්මාණයන්ගෙන්ය. මාර්කටින් මූලික කරගත් සමාජයක, ආගම, ලිංගිකත්වය හෝ ජාතිය ඉතා ලෙහෙසියෙන් විකිණෙන දේවල් වෙයි. එහෙත් එයින් ඇතිකරනා හානිය බොහෝය. නිසි ආකාරයෙන් එකී දේවල් විවේචනය කල හැකි සිනමා කෘතියක් බිහිවීම තුලින් සමාජයට මෙන්ම කළාවටත් ප‍්‍රයෝජනවත් වේ. අද පවතින මේ නිදහසින් අයුතු ප‍්‍රයෝජන ගැනීම නිසා එවැනි ඇස් පාදන විවේචනාත්මක නිර්මාන බිහිවන්නේ නැත.