දිගු නිහැඩියාවකින් කියවෙන්නේ කුණාටුවක් අත ලඟ කියලා කිව්වත් මම නම් කාලයක් සද්ද නොකර හිටියේ අලුතෙන් වැඩ කිහිපයක් පටන් ගත්ත නිසාත් ජීවිතේ පොඩි පොඩි වෙනස්කම් වුණ නිසාත් තමයි. කාලයක් තිස්සේ මට ඇහුණ මාතෘකාවක් තමයි රජයේ විශ්ව විද්‍යාල සහ පෞද්ගලික විශ්ව විද්‍යාල කියන වචන දෙක. Rag එකේ ඉඳලා, අධ්‍යාපන ක‍්‍රමවේදයන් තුලින් උපාධියේ පිලිගැනීම වෙනකම් මේ දෙක අතර සෑහෙණ ප‍්‍රශ්ණ අහන්නට ලැබුණා. මේ තැන් දෙක ගෙනම මගේ අදහස් දක්වන්න හිතුනේ ඒක නිසයි.

පෞද්ගලික අධ්‍යාපන ආයතන (උපාධි කඩ) ගෙන මගේ මුල්ම අත්දැකීම වෙන්නේ නුගේගොඩ තියෙන ප‍්‍රසිද්ධ උපාධි කඩයක්. තහනම් කරව් කියලා කෑගහන නම් අතර ඒ නමත් තියෙනවා. හැබැයි මේ උපාධි කඩයේ උපාධිය ලේසියෙන් ලැබෙනවා කියලා හිතනවා නම් ඒක ලොකු වැරැුද්දක්. අපි ඉගෙනගන්න කාලේ අපිත් එක්කම රජයේ කැම්පස් (උපාධි දන්සැල්) වලට පාස් වුණ යාළුවොත් එක්ක අපි සෑහෙණ ෆිට් එකෙන් හිටියා. ඇත්තටම අර කියන්නා වගේ පන්තියේ කොන් වෙලා සිරිමත් වගේ ඉඳලා කැම්පස් බැහැපු උන් දැන් බෝඩ් අරන් කෑ ගැහුවාට, කවදාත් ආතල් එකේ හිටපු උන් එකට සෙට් වෙද්දී රජයේ ද ප‍්‍රයිවට් ද කියලා කවදාවත් කුහක කමක් හිතන්නේ නැහැ.


නුගේගොඩ මම ගිය උපාධි කඩේ සල්ලි වලට උපාධිය දෙන්නේ නැහැ දෝත බදලා ආ මෙන්න කියලා. Attendance බලනවා, Assignments වල Plagiarism බලනවා, කොටින්ම කිව්වොත් උපාධි කඩ වල හාන්සි වෙලා ඩිග‍්‍රිය ගන්න තියෙන ඉඩ සෑහෙන්න අඩුයි. අනික ෆේල් වෙලා කියලා හැම දේම විනාසයි කියලා හිතන කෙනෙක්ට ආයිමත් තමන්ගේ අධ්‍යාපනය හදාගන්න පුලුවන් තැනක් තමයි මේ උපාධි කඩ කියන්නේ. ඒ අතර රජයේ කැම්පස් වල වගේම 8%ක් විතර කෙළ ගන්න වුනුත් නැතිවාම නෙමෙයි. තවත් හොඳකට තියෙන්නේ හෙණට පාඩම් කරලා රජයේ කැම්පස් එන කෙල්ලෝ අතරේ යන්තම් එකක් දෙකක් ලස්සන කෑලි හිටියාට, තමන්ගේ රූපේ ගෙන හිතලා වැඩ කරපු මෝඩ ලස්සන කෙල්ලෝ නම් උපාධි කඩවල් වල සුලබ දසුනක් වෙච්ච එක.

උපාධි කඩ වල තියෙන වැරදි ගෙන කතා කලොත්, ඒකත් ගොඩාක්ම පොතටම බර වෙච්ච අධ්‍යාපන ක‍්‍රමයක්. රජයේ විශ්ව විද්‍යාල වලට වඩා ප‍්‍රායෝගික අතින් ටිකක් වැඩි උනාට හැබැයි මේකේ වෙන්නෙත් ගිරවුන්ට ඉහල ප‍්‍රථිපල ලබා දීමක්ම තමයි.

ඊලඟ දේ ගෙන නම් බොහෝ දෙනෙක් මාත් එක්ක එකඟ නොවෙන්න පුළුවන්. හැබැයි උපාධි කඩවල් වල Rag එක නැහැ. මම පෞද්ලගිකවම කායික සහ මානසික හිංසා නොවන, දෙපාර්ශවයටම කරදරයක් නැති Rag එකක්ට ආසා කෙනෙක්. ඒකෙන් බැජ් දෙකක් අතර හොඳ බැඳීමක් ඇති වෙනවා වගේම, කැම්පස් එකක් තුල ලස්සන උප සංස්කෘතියක් ඇති වෙනවා. මට මතකයි අපේ උපාධි කඩේ පළවෙනි බැජ් එක වෙච්ච අපි, ඊලඟට ආපු එකේ උන්ගෙන් Rag එකක් විදිහට බෝතල් වගයක් ඉල්ලුවා කට්ටියටම එකට සෙට් වෙන්න. හැබැයි එතන හිටපු ගස් ගඳයෙක් මේක ඉහලට කියලා අපේ කිහිප දෙනෙක්ගේම පන්ති තහනම් වුණාත් මට මතකයි. එදා එ් නවත්තපු Rag එක නිසා අදටත් ඒ උපාධි කඩේ ඉහල සමාජෙන් ආපු පඩ පරපුරකුයි, සාමාන්‍ය පන්තියේ පිරිස් අතර හැදිච්ච වෙනම සෙට් එකකුයි දැකගන්න පුලුවන් එහෙට ගිය කෙනෙක්ට.

උපාධි දන්සැල් ගෙන මට අත්දැකීම් තියෙන්නේ ආකාර දෙකකට. එකක් මම නිතරම රජයේ කැම්පස් වලට ආවා ගියා ඒවායේ යාළුවෝ හිටපු නිසා. අනිත් ක‍්‍රමය තමයි නාවල තියෙන උපාධි දන්සැලකත් මම ශිෂ්‍යයෙක් වීම නිසා ඒකේ ලැබුණ අත්දැකීම්.

මගේ මතකේ සුන්දරම තැනක් තමයි කැළණියේ තියෙන උපාධි දන්සැල. මම එහෙට ගිය මුල්ම දවසේ ඉඳලාම මම ආදරේ කලා ඒ පරිසරයට. එකේ ජිම් කැන්ටින් එකේ ලොකුවට ගහලා තියෙනවා,

“අප මිනිසුන් තැනිය යුත්තේ අප සමග යෑමට නොව අප පසුකර යෑමටයි” කියලා.

ඒ වගේම ඒකේ අන්තරේ රූම් එකේ ලියලා තියෙන අදහස් ඇත්තටම හරිම සුන්දරයි. මේ වගේ උපාධි දන්සැල් වලින් සංවිධානය කරන ගොඩක් දේවල් උපාධි කඩ වල වගේ පොෂ් නොවුණාට, ඒවා තරම් බජට් නැති වුණාට ඇත්තමට ලස්සනයි. මේ තැන් වලදී මට හම්බ වුණා ඇත්තටම හරිම සුන්දර චරිත. ඒ අයත් එක්ක එකට වැඩ කරලා, උනුත් එක්කම කාලා බීලා ඉඳපු නිසා මම දන්නවා ඒ සරළ ජීවිත වල තියෙන ලස්සන. ඒ වගේම එතන පන්ති භේදයක් නැති තරම්. මේ වගේ උපාධි දන්සැල් වල දෙන අමානුශික නොවන Rag පවා මට දකින්නට ලැබුණා. මම කියන්නේ නැහැ මිනිහෙක්ව ගස් බඳින එකවත්, බොක කවන එකවත් හරි කියලා. හැබැයි ගිණිකූරක් දීලා කැම්පස් එකේ දිග මැනගෙන වරෙන් කියන ජාතියේ ඒවා නැත්නම් කවදාවත් කොළඹ 7න් කැම්පස් ආව ශෙහාරායි හොරොව්පතානෙන් ආව කුමාරියි එක බත් එක බෙදාගෙන කන්නේ නැහැ.

උපාධි දන්සැල් වල තියෙන වැරදි ගෙන කතා කලොත්, මම දැකපු ලොකුම දෙයක් තමයි, ඒවායේ උන්ගේ ලෝකේ හරි පොඩියි. ජාත්‍යන්රේ ගෙන, අලුත් තාක්‍ෂණය ගෙන වගේම සමහර පුහු දේවල් ගෙන තියෙන පටු අදහස් ඒවා ඇතුලේ පිරිලා. ඒ වගේම කිහිප දෙනෙක් ඇරෙන්න, ගොඩාක් පාස් අවුට් වෙන අය පුරුදු වෙන්නේ Typical Lifestyle එකකට. සමාජයේ System එකෙන් පිට පනින්න වැඩක් කරන උන් ගොඩාක් අඩුයි.

මට තියෙන ලොකුම ප‍්‍රශ්නේ තමයි, උපාධි කඩ සහ උපාධි දන්සල් කියන මේ දෙකේම තියෙන වරද ඒවායේ අධ්‍යාපන ක‍්‍රමය කියන එක මේ දෙගොල්ලන්ටම තේරෙන්නේ නැද්ද කියන එක. පොඩි කාලේ ඉඳලා ගිරවා සංස්කෘතියකට පුරුදු කරන අපිව මේ කැම්පස් එක ඇතලෙත් කොච්චර අඩුවෙන්ද වෙනස්ම ඉගෙනීමකට යොමු කරන්නේ? ඒත් එක්කම ඒවායේ වැඩ වෙන විදිහ හරිම මන්දගාමී. මුදල් පරමාර්ථ කරගත්ත උපාධි කඩයක් වගේ නම් පුළුවන් තරම් උත්සාහ කරන්නේ ඉක්මනට වැඩ ටික ඉවර කරන්න. හැබැයි උපාධි දන්සැල් වලදී අවුරුදු 3 උපාධිය ඉවර කරන්න අවුරුදු 4ක් 5ක් ගතවෙනවා.

මම වෙන රටක ඉගෙන ගන්නා කාලයේ දැකපු හොඳම වෙනස තමයි, රජයේ හෝ පෞද්ගලික හෝ කැම්පස් එකක තනිකරම තියෙන්නේ ප‍්‍රායේගික අධ්‍යාපන ක‍්‍රමයක්. Theory එක Case study එකකින් උගන්නලා සැබෑ ජීවිතේ තියෙන ප‍්‍රශ්ණයක් විසඳන විදිහ තමයි Assignment එකට හරි Exam Question එකට හරි දෙන්නේ.

ඒත් අපේ රජයේ කැම්පස් වල සිනමාව ඉගෙන ගන්න එන බහුතරයක් එන්නේ ශේප් එකේ ගුරු පත්වීමක් අරන් අයිනට වෙන්න මිසක් ෆිල්ම් එකක් හදන්නත්, ඒකට තියෙන ආදරේ නිසාවත් නෙමෙයි කියලායි රජයේ කැම්පස් වල සිනමාව උගන්නන ගුරුවරු කියන්නේ. ඒ වගේම සිනමාට ආදරයක් තියෙන, ෆිල්ම් එකක් හදන්න අදහස තියෙන ගොඩක් දෙනා පෞද්ගලිකව සෑහෙණ සල්ලි වියදම් කරගෙන ඒක ඉගෙනගන්නවා.

ඉස්කෝලේ වගේම කැම්පස් එක කියන්නේත් රූකඩ විදිහට මිනිස්සු හදන තැනක් විතරයි. ඒ වගේ දෙයට අයිතිය හරි පිළිගැනීම හරි වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරගන්නවාට වඩා තමන්ගේ Passion එකට වැඩක් කරන එක සෑහෙන්න වටිනවා. මම හිතන විදිහට අද වෙද්දී මේ ලෝකය සෑහෙණ ප‍්‍රශ්ණ පිරුණු කිසිම සුන්දරත්වයක් නැති තැනක්. ඉතින් තවත් ඒකේ සටන් පාඨ කිය කියවත්, සල්ලි දීලා ඉගෙනගෙන තවත් ගිරවෙක් වෙනවාටත් වඩා මේ ලෝකේ සුන්දර තැනක් කරන්න පුංචි හරි උත්සාහයක් දරණවා නම් කෙනෙක්, අන්න එතෙන සැබෑම ඉගෙනීමක් තියෙනවා..