ජීවිතේ අපිට හම්බුවෙන කතා වර්ග දෙකක් තියෙනවා කියලා මම හිතනවා. එකක් තමයි The End වර්ගයේ ඒවා. ඇය හමු විය, මට සෙට් විය, ඇය ගැල විය, මට කෙල විය වගේ ඒවා තමයි එ්. තවත් කතා තියෙනවා To be continued… වර්ගයේ ඒවා. ඇය හමු විය, මට සෙට් විය, ඇය ගැල විය, පතිනිය විය, යලි ටෝක් විය, හොර ෂොට විය. මේ ජාති දෙකෙන් මම අද වෙනකම් ගොඩාක්ම කිව්වේ අර මුල් වර්ගයට අයත් වෙන කතා. මොකද මගේ ජීවිතේ ඇත්ත තත්වේ අර දෙවෙනි උදාහරණේ වගේ වුණාට, මගේ කතා කොටස් විදිහට ඉවර කරන්න පුළුවන් තත්වෙක තිබුණා. හැබැයි අද කතාව To be continued වර්ගයේ එකක්.

කතාවට හේතු වුණු මුල් අදහස මට එන්නේ සැප්තැම්බර් මැද වගේ. මම වැදගත් ආයතනයක වැඩ කරන, මගේම වැඩකුත් කරගෙන යන, ඩිග‍්‍රියක් තියෙන සමාජයේ මිම්මෙන් නම් හොඳම තැනක ඉන්න කෙනෙක්. තව කරන්න තිබුණේ පොඩි වන්ඩියක් අරගෙන කසාදයක් කරගන්න එක විතරයි සමාජේ මතේ අනුව නම්. හැබැයි පොඩි කාලේ ඉඳන් මට අවුල් සීන් එකක් තිබ්බා මගේ වටේ තියෙන හැම දේම පිළිවෙලක් වෙද්දි, හැම දේම එකම රටාවක් වෙද්දි මට හරිම අවුල් අවුල් වගේ දැනෙනවා වාගේ ගතියක්. ඉතින් මමත් හිතුවා වෙනසක් කරන්න.

රට යන්න සල්ලිම නෙමෙයි අවශ්‍ය කියන එක තේරුම් අරන්, ගේම ගහලා කොහොම හරි දුක් කන්දරාවක් විඳලා මට ඔසී යන්න සෙට් වෙන්න ගත වුණේ ටිකක් අඩු කාලයක්. ලොකු නැන්දාටයි, අම්මා අප්පච්චීටයි, බත්තරමුල්ලේ Jeewa එකේ අයටයි පින් සිද්ද වෙන්න මම ආවා ඔසී. එන්න කලින් ඉතින් මහා දුකක් තිබුණේ නැහැ. ලංකාවේ තැන් තැන් වල තිබ්බ මතකයන් ගොඩාක් අරගෙන තමයි මම ආවේ. ලංකාවේ හිටියාට වඩා දෙයක් කරගන්නයි, මාස්ටර්ස් කරගන්න ට‍්‍රයි එකක් දෙන්නයි, චරියා එක්ක සෙට් වෙලා ආතල් එකක් දාන්නයි තමයි මගේ අරමුණවල් වුණේ.

මෙල්බර්න් එයාපෝර්ට් එකට බහිනකොටත් අම්මට සිරි වෙන්නම පට්ට සීතලයි. මට සීතල කියන දේ තරම් ආස නැති තව දෙයක් නැහැ. ලොකු අයියා මාව ගන්න එයාපෝර්ට් එකට ඇවිත් කියනවා,

“මේ තමයි මල්ලි summer එකේ ෂේප් රස්නේ දවස්” කියලා.

එතනින් එහාට මට එක ගෙන අහන්න දෙයක් තිබුණේ නැහැ. එයාපෝර්ට් ඉඳන් ගෙදර යන දිගට මම දැක්කා මෙල්බර්න් සිටි එක. අර ෆොටෝ වල තියෙනවා වගේම ලස්සනට ලයිට් දාලා තිබුණා. පාරවල් එහෙමත් පට්ට. එදා නිදාගත්තේ ඇඳුම් දෙකක් ඇඳන්, තඩි Quilt එකක් පොරවන්, පුකේ හීටරේකුත් ගහන්.

අයියලා ඉන්න පැත්ත පාළුයි. PR තියෙන නිසා ඒ දෙන්නාම වැඩ කරන් ජීවත් වෙනවා එයාලාගේ පාඩුවේ. හැබැයි ඉතින් කට්ට තමා. පහුවදා චරිත් මාව එක්කන් යන්න ආවා උගේ ගෙදර. ඌ ඉන්නේ සිටි එකේ. උගේ ගාවදී තමයි Student Life එක ගෙන මට අවබෝධයක් ආවේ.

ඔසියෝ හරිම අමුතු ජාතියක්. උන් සිස්ටම් එක හදලා තියෙන්නේ උන්ගේ ලොකු එකාගේ සිට පොඩි එකා දක්වා සැප විඳින්න. උන්ගේ සැප උන් විඳින්නේ අපේ දේවල් වලින්. අපි ඉගෙනගන්න ගෙවන සල්ලි, අපේ ශ‍්‍රමය වගේම අපේ ආත්මයත් උන් ඒකට යොදා ගන්නවා. මෙහෙ පුක ඉරාගෙන වැඩ කරන එකාට ලයිෆ් එකක් තියෙනවා. ඒ ලයිෆ් එක දෙන්නේ තනිකරම වාණිජකරණයක් හරහා. ආසාවල් සහ උවමනා සපුරාගන්න ඇති තරම් දේවල් තියෙද්දි, මැරි මැරි උනත් වැඩ කරන්න හිතෙන එක පුදුමයක් නෙමයි.

මම දැක්ක විදිහට කෙනෙක් ආව ගමන් කුණ කන්න ඔ්නේ කියලා නීතියක් මෙහේ තියෙනවා. හැබැයි එ් කුණ දෙන්නෙත් අපිට කරන ලොකු උදව්වක් වගේ. ලංකාවෙන් ආව ගමන් කෙනෙක් ඉන්න බෑ කියලා යන්න හදන්නේ මේ කුණ කන්න බැරිව. කාලෙකින් ඒ දේ හරි ගිහින් settle වෙනවා කියන්නේ කුණ අඩු වෙනවා කියන එක නෙමෙයි. මේ system එකෙන් ඒ මිනිහාව තනිකර වෙනස් කරනවා. කරගන්නම දෙයක් නැතිව බඩගින්නයි සීතලයි දැනෙද්දී කට්ට කන්න මිනිහෙක් යොමු වෙනවා. හැබැයි කාලයක් යද්දී උගේ හෘදසාක්‍ෂිය වගේම ආත්මයත් මේ දේ සාධාරණීකරණය කරගන්නවා මොකද ඒවාට හරියන්න සැප දෙන්න ගොඩාක් භාණ්ඩමය දේවල් තියෙන නිසා. අනික හැම දුකක්ම හවසට දිය කරන්න මෙහේ ඇති පදම් Alcohol තියෙනවා අඩුවට.

මහේ බහුතරේකගේ මතය අනුව කට්ට කන එක තමයි ජීවිතේ කියන්නේ. අනික් පොඩි පොඩි ජොබ් වලින් එහාට ගේමක් ගහන්න කව්රුත් කැමතිත් නෑ. ඉදිරියට හිතලා ගේමක් ගෙන හිතන්නවත් උවමනාවක් නැහැ වගේම system එකෙන් ගාණට එහෙම නොහිතන විිදියට මිනිස්සුන්ව හැඩ ගස්සලා.

අනික cleaning, helping hand වගේ දේවල් කරන එකෙන් කෙනෙක්ව ගලෝගන්නම බැහැ මොකද ලේසියෙන් පොඩි ගාණක් ලැබෙන එකම දේ නැති කරගන්න කව්රුත් කැමති නැහැ. ඊටත් වඩා මේ දුක අත ඇරලා ලංකාවට ගියොත් තමන් පරාජිතයෙක් වෙයි, තමන්ට සමාජේ හිනා වෙයි කියන දේ හැමෝගේම හිතේ තියෙනවා. අනික බහුතරයක් මෙහේ ආව උන් ලංකාවේ දෙයක් කරගන්න බැරිව ආපු උන්,

කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉන්නවා එහෙත් ගේමක් ගහලා මෙහෙත් ගේමක් කහලා ජීවත් වෙන උන්.
මෙහේ මට හම්බවුණු මිනිස්සු අතරින් පොඩි මිනිහා ඇත්තටම සතුටින් ඉන්නවා ටිකක් හරි තව කෙනෙක්ට උදව්වක් කරලා. හැබැයි සල්ලි තියෙන ලොකුම එවුන් අනිත් එකාගේ මූණක්වත් බලලා හිනා වෙන්නේ නැහැ උදව් කරන්න වෙයි කියන බයට. System එක මෙහේ මිනිස්සුන්ව කොච්චර වෙනස් කරලාද කිව්වොත්, සමහර වෙලාවට අපි එකට ගේම ගහලා එතනින් පනින්න හැදුවත් උන් බයයි තමන්ගේ comfort zone එක නැති වෙයි කියලා. ගොඩාක් එවුන් ලංකාවට නොඑන්නේ මෙහෙ දාලා එන්න බැරි කමටම නෙමෙයි, සැපට හුරු වෙලා එ්ක නැති වෙන නිසයි, තමන්ට ලංකාවට වත් එන්න විදිහක් නැති නිසයි කියලායි මට තේරුනේ.

නිවාඩුවකට එන්න ඔසී කියාපු රට. සල්ලි තියෙනවා නම් ගෙදරින් ගෙන්න ගන්න, ඉගෙන ගන්නත් කියාපු රට. හැම දේම අමතක කරලා කුණ කාගෙන බල්ලා වගේ ඉන්න පුළුවන් නම් ඒකත් මෙහේ ඉන්න හොඳ විදිහක්. කරුමෙට අපිට ඔය තුනම කරන්න හිත දෙන්නෑ මොකද එහෙම මැරෙන මැරිල්ලට හරියන්න දෙයක් ආපහු ලැබෙන්නේ නැති නිසා. මාසෙට ලක්‍ෂ 4ක් 5ක් හෙව්වා කිව්වාට වියදම් තියෙනවා ලක්‍ෂ 3ක වත්.

අවුරුදු 2ක් 3ක් මැරිලා මැරිලා මාර්ටර්ස්්, ඩිග‍්‍රිය ඉවර කරලා working visa ඉල්ලුම් කරලා කොහේ හරි රස්සාවක් හොයා ගත්තොත් තව අවුරුදු 2ක් වැඩ කරලා, එ් අතරේ PR අකුරු දෙක ගහගන්න ට‍්‍රයි කරන එක තමයි මෙහේ සිහිනය. හැබැයි ඔය අවුරුදු 4, 5 ලැබෙන දේ සහ තමන් කාපු කට්ට අතරේ ratio එක බැලුවාම ලංකාවේ අවුරුදු 4ක් 5ක් ඉඳලා ලැබෙන දේට කන්න වෙන කට්ට අතර ratio එක සෑහෙණ අඩුයි. සේරම කටු කාලා අවුරුදු 4ක් 5ක් ඉවසාගෙන හිටියා කියමුකෝ, හැබැයි අන්තිමට PR ලැබෙන්නෙත් නැහැ බහුතරේකටම. අවුරුදු 9ක් 10ක් පවා ඉඳන් දුක් විඳින උන් මට හම්බ වුණා. හැබැයි හොඳම සීන් එක කියන්නේ, සැපක් ගෙන හිතේ තියාගෙන අවුරුදු ගාණක් දුක විඳපු එකෙක් අතරමගදී මැරිලා ගියොත් ජීවිතේ ඌ දුකම විඳලා මැරුණා වාගේ සිද්ධියක් තියෙන්නේ.

“ඇවිත් සති ගාණෙන් සේරම දන්නවා වගේ පොර ටෝක් දෙන්න බෑ” කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. ඔව්.. වෙන්න ඇති. හැබැයි මනියා කිව්වා වගේ ඌරු කොටුවකට බැහැලා එ්ක ගඳයි කියන්න අවුරුද්දක් ඉන්න ඕනේ නැහැ වගේම අවුරුද්දක් ඌරු කොටුවක ඉන්දී ඒකේ ගඳට හුරු වෙන එකත් වෙනවාමයි.
ලංකාව වගේ පොඩි රටක හිටපු මට ආස වුණා ලෝකේ දකින්න. අපේ ආසාවල් වගේම ගෙවල් වල මිනිස්සුන්ගේ හීන හැබෑ කරන්න මමත් ආවා බලන්න මොකක්ද මේ සිද්ධිය කියලා. හැබැයි මම තේරුම් ගත්තේ ලෝකේ නිදහසේ කම්මැළිකමට ජීවත් වෙන්න පුළුවන් ලේසිම රට ලංකාව. මේ රටවල් වල ශරීර උෂ්ණත්වේ තියාගෙන ඉන්නත් ගෙවන්න වෙන සීන් එකක් තියෙන්නේ. කොච්චර කොහොම කිව්වත් දෙයක් කරගන්න හැකියාවක් තියෙනවා නම් ලංකාවෙන් එන්න එපා. අඩුම ගානේ සැප විඳලා නැති වුණත් උඹ හිතේ නිදහසේ මැරෙයි. ලංකාවේ සල්ලි හම්බ කරලා පුළුවන් නම් ඇවිත් යන්න වරෙන්, නැත්තම් නම් එන්න එපා මේ යක්ෂයාගේ රටට.

මෙහේ ජීවත් වෙන්න එක එක විදි තියෙනවා. කට්ට කලා සැපක් බලාපොරොත්තුවෙන් ජීවත් වෙන අය වගේම, කට්ටක් නොකා ගෙවල් වලින්ම යැපෙන පිරිසකුත් ඉන්නවා. එ් අතරේ මට හම්බවුණු අය ඉන්නවා ලේසියෙන්ම සල්ලි හොයලා සැප විඳිනත්. හැම දේම තීරණය වෙන්නේ තමන් කොයි වර්ගයේද කියන දේ අනුවයි.

දවසින් දවස මමත් ඌරු කොටුවේ ගඳට හුරු වෙනවාදෝ කියලා මටත් හිතෙනවා. හැබැයි අද මේ ලියද්දී මම හොඳ සිහි කල්පනාවෙන්, මගේ හෘද සාක්‍ෂියට එකඟව කියන දේ තමයි මමත් ලඟදීම ආපහු එනවා ලංකාවට මේ රට ටිකක් බලලා කියන එක. හදිසියේ වත් මම ලිව්වෝතින් මෙහේ ජීවත් වෙන එක ආතල්, කට්ටක් කෑවත් සැපක් තියෙනවා කියලා, එදාට හිතාගන්න මමත් ඌරෙක් වෙලා කියන එක.