ගිණි අවුවේ මම හිටගෙන හිටියේ හාඩ්වෙයාර් එකක් ඉස්සරහා. අතේ සිමෙන්ති කිලෝ එකකුයි ඇණ පාර්සලේකුයි. පැත්තකින් තිබුණා රැළි තියෙන සීට් සෙට් එකක්. ඒවාට උඩින් පාරේ ඈත බලන්න බැහැ රස්නේ නිසා පාර නටනවා වගේ. මගේ ලඟට වෙලා කඩේ බඩු පටවන මිනිහා ඉන්නවා මගේ සීට් එක පටවන්න වාහනේ එනකල්. තරමක් වයස මේ මිනිහාගේ කකුලක් සොත්තියි. ටිකක් විතර මොංගල් පාටක් මිනිහාගේ තියෙනවා. අපිට ඉස්සරහා පාරේ බැල්ලියෙක් හතර වටේට මොනවාදෝ හොය හොය එහෙ මෙහේ යනවා.

“කොයි වෙලේ හරි වාහනේකට අඩ තියනවා බලන්නකෝ මහත්තයා”. කටහඩ අවදි කරන්නේ හාඩ්වෙයාර් එකේ මොංගල් බුවා.

“සුද්දි හොයන්නේ පැටව් ටික.. මගේ සුද්දිගේ පැටව් හතරම බෝල ගෙඩි වගේ”. පිළිතුරු කටහඩක් ඇහෙනවා එතැනම බිත්තිය අයිනේ බිමකින්. කටහඩේ අයිතිකාරයා පිස්සෙක්.

“එහෙනම් උඹ දැනගන්න එපැයි උඹේ සුද්දිව පරිස්සම් කරන්න”. මට ඇහැක් ගහන ගමන් මොංගලේ පිස්සාට උත්තර දෙනවා.

“මං.. මං.. සුද්දිව බලාගත්තා. පැටව් හම්බුවෙද්දිත් ලඟ හිටියේ මම. උන් ඇස් අරිනකොටත් මම ලඟමයි”. පිස්සා උත්තර දුන්නේ බිඳුණු කටහඩකින්.

“උන් උඹට තාත්තේ කිව්වේ නැද්ද?”

පිස්සා නිහඩයි. පාර පුරා දුවපු සුද්දි අහල පහල කඩවල් අස්සේ, පඳුරු අස්සේ ඉව කරනවා. හරියටම තමන්ගේ දරුවන් ඛේර ගන්න කිසිවෙක් නොමල ගේකින් අබ ඉල්ලන් යනවා වගේ දර්ශණයක්. දිවත් එළියට දාගෙන, කිරි වලින් පිරිච්ච තනබුරුල්ලත් උස්සන් සුද්දී එනවා පිස්සා ගාවට.

“සතාට අමාරු ඇති දැන්. කිරි හිරවෙලා ඇති. මේ… හවසට උඹයි මායි මේකිගේ කිරි ටික දොවලා දාමුද?” මොංගලේ අහනවා පිස්සාගෙන්.

“හා…උඹ වැඩ ඉවර කරලා යද්දි කරමු. එහෙමවත් නිදහසක් තියෙයිනේ මේ සතාට.” පිස්සාගේ මූණේ සතුටු හිනාවක්.

ඒත් එක්කම මගේ සීට් එක ගෙනියන රෝද තුනේ වාහනය එනවා. අවුරුදු 40ක විතර ඩ්‍රයිවර් කෙනෙක් එක්ක. මොංගලේ ඩ්‍රයිවර් එක්ක එකතු වෙලා සීට් එක පටවනවා. පිස්සා ලං වෙනවා මගේ ගාවට.

“මහත්තයා… මහත්තයාට ගෙදර ගෙනියන්න දෙන්නද ෂෝක් බල්ලෙක්? අපේ සුද්දි හරිම හොඳ සතා. මම ඉඳලා හිටලා එන්නම් බලලා යන්න.”

මම නිරුත්තර වෙනවා.

“ඔය මහත්තයාට ඉන්න දීපං. මහත්තයා යන්න මහත්තයා. මුට පිස්සු. සීට් එක පටවලා ඉවරයි”. මොංගලේ මාව ගලවගන්න හදනවා.

බඩු පටවපු මොංගලේටයි සුද්දිට බනිස් ගන්නයි මම පොඩි ගාණක් දෙනවා. ඒ අතරේ සුද්දි ත්‍රී වීල් එක ඇතුලටත් හොම්බ දාලා ඉව කරනවා තමන්ගේ ළමයි හොයන්න.

“චිප්… දුවපං යන්න වල් බල්ලා.. මේවා ජරා නොකර…”

සුද්දිට කෑ ගැස්සෙන්න පයින් පාරක් ගහනවා ත්‍රීවීල් කරයා.

පිස්සාට ඇත්තටම පිස්සු හැදෙනවා. මොංගලේට ඇත්තටම මොංගල් වෙනවා. අන්තිමට මම සීට් එක අරන් එන්නේ වැඩි ගාණක් දීලා වෙන වාහනේක.