සඳුදා බොහෝ දෙනෙක්ට මූසල දවසක් වන්නේ වැඩ කරන සතියක ආරම්භය නිසාවෙනි. මේ සඳුදා මා පාන්දර අවදි වූයේ බඩේ වේදනාවෙනි. අද මා මේ දමන්නේ ජීවිතයේ අවුරුදු 26කුත් දවස් 3ක් පුරාවට දමන තවත් එක් බොකක්ය. සිකුරාදා දින රාත‍්‍රියේ බුක්තිවිඳි සුපිරි රාත‍්‍රී භෝජනය මා හට මතකයට නැගෙයි. ඊට පසු සති අන්තයේ ආහාරයට ගත් රස ආහාර මාගේ මතකයට එයි. ඊයේ රාත‍්‍රියේ කෑ බිව් දේවල් මට මතකයේ නැත. එහෙත් මම පෙර රස කල විඳි ආහාර මතක් කරමින් බොක දමමි.

මා හට 25වන වසර පසු වුණු දිනය සිහි විය. එකල මා අසල සිටි අය මට මතක් විය. එවසර අග දිවියේ දිනූ දේවල් මතක් විය. අද වන විට එකී බොහෝ දෙනා ඈත් වී හමාරය. පිට පිටම ලැබූ ජරාජයන් හමුවේ ගිලිහී ගිය ආත්ම විශ්වාසය මට පිටුපසින් සිනාසෙනවා ඇසුනි. ඒ සියල්ල අභිබවා තවමත් මා බොක දමන්නෙමි.

අද දින වැඩ නැතත් හෙට සිට වැඩට යා යුතුය. කවදා වන තෙක් මේ චක‍්‍රය ගෙවන්නද? මට ලිශාන්ගේ මුහුණේ කැළැල සිහි විය.

“දවසක මට ලෝකේ හැම දෙයක්ම තිබුණාත් මම එදාටත් මහන්සි වෙලා වැඩ කරනවා. මාව ජීවත් කරවන්නේ ටාගට් එක. මම ආසයි ටාගට් පස්සේ දුවන්න.”

කුඩා කල පටන් අදටත් ලිශාන් එසේමය. “ලිශාන් මම නැවතී සිටිමි උඹත් නවතින්න” යැයි කියන්න මට තවමත් නොහැක.

අතීතයේ දිනක රේස් කෝස් පිටියට වැටුණු ලයිට් එළිය මැදින් මම දිව යමි. මට ඉදිරියෙන් හති දමන, තල්මසුන් වැනි ලඳුන් දෙස බලමින් මා දිව යන්නෙමි. අද එතැනට නුදුරින් අවන්හලක මා තෙල් බේරෙන ආහාරයක් බුදිමින් ගප්පියෙක් මෙන් ඉදිමෙන මාගේ බඩ දෙස බලන්නෙමි. අද ඒ බඩ මැකී යන්නම බොක දමමි.

වෙනදාට පාන්දර 7ට පමණ මා මෙතැන සිටින්නේ දුරකතනයද අතින් ගෙනය. සමාජ ජාලා වල මා සැරිසරමි. එකිනෙකාගේ පුස් දේ බලමින් උපහාසයට සිනාසෙමි. මධුෂාන්ගේ කවි කියවමි. සචිත නැරඹූ චිත‍්‍රපට අතර ඇවිදිමි. එකෙනෙහිම නිපුන කොලාන්න ශෙයාර් කෙරූ දෙයකට ඌවම බයට් වෙනු දකිමි. එවිට මා මෙතැනින් පිටවෙමි. එහෙත් අද එසේ නොහැකිය. විඳවන්නට තවත් දේ ඇත. පිට කරන්නට තවත් ජරාව ඇත.

රාත‍්‍රියේ මයියාගේ පෙට්ටි වාහනයට වී උගේ කෑල්ලව හරියට හදාගත යුතු ආකාරය කියා දෙනු මට මතක් විය. ඒ පෙට්ටි කාරයම දිනක් මා පෙන්නූ විට,

“අපෝ මට නම් ඔය වගේ ඒවා නිකම් දුන්නත් එපා. මට ඔ්නේ බෙන්ස් එකක්” යැයි කණ්ණාඩියෙන් බලමින් තොල් ආලේපණ තවරනා ගමන් කෙනෙක් පැවසුවා මට මතක් විය. කලින් මකාගන්නට වෙර දැරූ දෙයම යලි ඇතිකරගන්න විඳිනා දුකක්… තවත් බඩ බොර බොර ගාන්නට විය.

පාන්දර අවදි වූ විට දවස දිගය. වෙනදාට මා හට දවස ඉතා කෙටිය. කාලයට ඇති ලොකුම හතුරා ආදරයයි. ආදරය සිටිනා තැන කාලය ගතවනු දැනෙන්නේ නැත. මගේ වයසේ හැම එකෙක්ටම දැන් කාලය මදි වී ඇත. ඒ සියළු බැමි කඩාගෙන මේ බොකක් කාලය කා දමන ආකාරයක තරම.

දැන් ඔළුව එක් අරමුණක තබා ගන්නටම නොහැක. එදා මෙදා තුර කල ගොන් වැඩ, ගත් වැරදි තීරණ සහ මුහුණ දුන් ලැජ්ජාවන් සියල්ල මා වටේ සිට මට සිනාසෙමින් සිටියි. පෝක් හම බඩ ඇතුලේ ඇදුම්කයි. මා තවත් බිමට නැමෙන්නෙමි. ජීවිතය කටුකය. එහෙත් ගේම අතහැරිය නොහැක. පීඩනය අඩු වල කල ගිළුණු රබර් බෝලයක් නැවත උඩට පතුවන්නා සේ නැවතත් මතුපිටට ආ යුතුය. දිගු සටනකින් පසුව බොක පරාජය විය. මම දිනුම්ය. දැන් බඩ රිදීම අඩුවෙමින් ඇත. මම එහෙත් තවමත් බඩ විශ්වාස නොකරමි. දුක සැප හමුවේ වෙන මේ දෝලනය එක් අතකට සුන්දරය. දැන් මෙතැනින් නික්මනේනට කාලය පැමිණ ඇත. මම බොක හමාර කරෙමි. ඈත අහසේ දවසේ පළමු ඉරු රැල්ල මතු වනවා මම දුටිමි.