මේ ගීතය මාගේ අතින් ලියැවෙන්නේ 2017 වර්ශයේදී. පෞද්ගලික අත්දැකීමක් වගේම මාගේ සමීපතම මිත‍්‍රයෙකුගේ ආදර කතාවකුත් අතර මිශ‍්‍රණයක් තමයි මේ ගීතයෙන් කියැවෙන්නේ. සාහිත්‍යමය විචාර වලට වඩා මම මගේම ශෛලියකින් මේ කතාව කියන්නම්. අපේ ජීවිතේ කාලෙන් කාලෙට එක එක ජාතියේ ආදර කතා ඇති වෙනවා. ඒක පාර්ශවීය ආදර කතා, වැඩිමල් ආදර කතා වගේම සුන්දර ආදර කතාත් මේ අතර තියෙනවා. කවදාවත් හිතිලා නැද්ද සම්බන්ධයක් පටන් අරන් ටික කාලයක් යද්දී දෙන්නාට දෙන්නා මුණගැහුණේ වැරදි කාලක කියලා? කවදාවත් දැණිලා නැද්ද ආදරයක්, වෛර කරන්නත් බැරි නමුත් කවදාවත් එකට ඉන්නත් බැරි? මේකෙන් මම කතා කරන්නේ අන්න එහෙම ආදර කතාවක් ගෙන.

මේ ගීතයේ මුල් කොටසට ආභාෂය වන්නේ මාගේ මිතුරාගේ අත්දැකීමක්. ජීවිතේ ගොඩනගා ගන්නා තරුණයෙකුත්, ජීවිතය ස්ථාවර කරගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින තරුණියකුත් ආදරයෙන් බැඳුනාම කුමක් විය හැකිද? ඔහු ජීවිතයේ පාඩම් රැසක් ඉගෙනගත් තරුණයෙක්. ඒ තුලින් ඔහු උත්සාහ කරන්නේ ඉදිරි අනාගතය සුව සේ ගත කිරීමටයි. ඇය ජීවිතයේ කාලයක් ගෙවී ගිය වැඩිමල් තරුණියක්. ගැහැණියක් වැලක් මෙන් ශක්තිමත් ගසක වෙලෙන්නට සිතනවාක් මෙන් ඇයට අවශ්‍යය වන්නේ ශක්තිමත් පිරිමි චරිතයක්. දෙදෙනාම දෙදෙනාට ආදරෙයි. දෙදෙනාටම දෙදෙනා අවශ්‍යයයි. එහෙත් දෙදෙනාගේ ගමන් ගන්නා අරමුණු දෙකක්. කෙනෙක් ජීවිතය සොයන අතර තවත් කෙනෙක් ආදරය සොයනවා. මේ දෙදෙනාම වැරදිකරුවන් නොවේ. එකම වරද නම්, ඔවුන් හමුවූ කාලයයි.

මෙහි දෙවන කොටස මගේ අත්දැකීමක්. මම බොහෝමයක් වෙලාවට සමාජයෙන් ඈත් වෙලා තනිවම ජීවත් වෙන්න උත්සාහ කරන කෙනෙක්. මේ සමාජයේ තියෙන සම්මත මතයන් මට ගැලපෙන්නේ නැති එක ඊට ප‍්‍රධාන හේතුවක්. මේ වකවානුවේදී මට හමුවෙනවා එක්තරා යුවතියක්. ඇය අපි එදිනෙදා දකින සාම්ප‍්‍රදායික ගැහැණු කමේ ආකෘතියක්. ඇයව මම මුලදී වරදවා ගන්නවා කපටි තැනැත්තියක් ලෙස. නමුත් කාලයක් ගත වන විට මට දැනෙනවා ඒ ඇගේ කපටිකම නොව සමාජය විසින් අවුරුද් ගණනාවක් හුරු කරපු රාමුව කියන දේ.

ඈ සුන්දරයි, ඕනෑම කෙනෙක් ආදරයෙන් බැඳෙන තරමේ සුන්දරයි. වෙනත් කෙනෙක් නම් ඇයව මලක් මෙන් රැකගන්නා තත්වයට යන තරමටම ඇය ආකර්ශණීයයි. ඇය සමාජයේ ඉගැන්වීම් වලට හැදුණු යුවතියක්. උගත්කම, රැකියාව, සමාජ තත්වය සහ ඒකාකාරී ජීවන රටාව කියන දේවල් වලින් හදාගත් රාමුවක ඇය ජීවත් වනවා. ඇගේ ආදරය කොන්දේසි සහිතයි. නමුත් මම මෙයට හාත්පසින්ම වෙනත් පුද්ගලයෙක්. මම ඇයගේ මේ රාමුවට පහර ගහනවා. ඇගේ සමාජ විශ්වාසයන් එකිනෙක මා බිඳ දමනවා. ඇගේ එකී විශ්වාස වලට මා පහර ගමන විට ඇය සමහර දේ තේරුම් ගන්නවා, සමහර වෙලාවට ඈ මා සමග ගැටෙනවා. ඇයට මා ගෙන ඇතිවන්නේ කේන්තියක්. එහෙත් ඇය මගේ ඒ විනාශකාරී ආදරයට තවත් ඇලෙනවා.

ඇය මෙරුවෙක් වගේ එන්න හදන්නේම පිච්චෙන ගිණිදැල්ලට. එහෙත් ඇය දන්නවා ඇය මා හා බැඳෙන්නට හේතුවත් මගේ ඒ තිබුණු ගිණිදැල්ලම යන වගත්. ඇය ඇයව මා හට භාර දෙනවා. මා හොඳාකාරවම දන්නවා ඇගේ ඒ චින්තනයත් එක්ක මාගේ අදහස් නොගැලපෙන වග. අප දෙදෙනා එක්ව දිවි ගෙවන කාලයක මේ මත ගැටුම තවත් දරුණු වන බව මට වැටහෙනවා. මගේ මුරණ්ඩු අදහස් වලට ඇය පහර දෙන්නේ චවන වලින්. කෙනෙක් මට පවසන වචන මට හිතේ රැඳුනත් ඇයට එසේ නැහැ. අනෙක් මොහොතේ ඇය නැවතත් මට ආදරය කරනවා.

“මරාගෙන හරි එකට අපි ඉන්න ඕනේ…”

මෙයයි ඇගේ දැක්ම. ඈ දකිනා සමාජයේ ඉගැන්වීම මෙයයි. තමන් තුල සතුට නැති නිසා වෙනත් දේවල් වලින් සතුට හොයන, සමාජ සම්මත රැකියාවල් සහ ජීවන රටාවකින් දිවි ගෙවන්න යැයි උගන්වන සමාජයේ තවත් ගොදුරක් වන ඈ මේ කිසි දෙයක් නොපිලිගන්නා මා හට ආදරේ කරනවා. ඇයත් වැරදි කාරියක් නොවේ. ඒ ඇය හැදුණු ආකාරයයි. මාගේ වරදකුත් නැත. මා ජීවිතය තේරුම්ගත් ආකාරය මෙයයි. මේ අන්තයන් දෙක අතරේ ආදරය සොයන අපි දෙදෙනාගේ ආයුධ වන්නේ වචන සහ කේන්තියයි. ඇගේ වචන වලට කේන්ති යන මා ඇයට රිදවන්නට පෙළඹෙනවා. අගේ මතය අනුව අපි මරාගෙන හෝ විවාහ වන්නේ නම් අපේ අනාගතය කුමක් විය හැකිද? මේ හේතූන් ගෙන සිතනා මගේ සිතුවිලි ලියැවෙන්නේ මේ වචන වලින්.

ඔබත් වැරදි නැති, මමත් වැරදි නැති
පේ‍්‍රම කතාවක අපි දෙදෙනා…

වැරදි කාලයක, වැරදි යෝගයක
පේ‍්‍රමවන්තයෝ වී උන්නා…
මා සිප ගත් ඔය සිනිඳු දෙතොල් වල
සිත් පාරන වදනන් හින්දා…
ඔබව රකින්නට දිවුරපු අත් වල
නපුරු පහස දැනුනිද පෙරදා…
එකම තැනක හිඳ, සිත් දෙතැනක බැඳ
වෙන්වෙන්නට අද සිදුවන දා…
මාල හතක් බැඳ, පෝරුව මත හිඳ
එක්වූයේ කුමටද මන්දා….

Link – https://www.youtube.com/watch?v=PclzA0gXfd4

මේ ආකාරයෙන් ලියැවුණු ගීතය ඉතාමත් සුන්දර ලෙස සංගීවත් කරන්නට මාගේ මිත‍්‍ර සචිත සුදුගේට හැකිවෙනවා. ඒ වගේම ඔහුගේ මියුරු කටහඩින් මේ ගීතයේ සාම්පල් එකක් ඔහු මට එවනවා. ලඟදීම “මන්ත‍්‍ර” ලේබලයෙන් මේ ගීතය ඔබට රසවිඳින්නට හැකි වනවා ඇති. මාගේ මිතුරා තව ටික කලකින් ඇය හා විවාහ වීමට යනවා. ඔවුන්ගේ ජීවිතය කෙසේ නම් වෙයිද? තවමත් ඇය මා හා සිටිනවා. අදටත් මා ඇගේ අදහස් වලට පහර ගහනවා. අදටත් ඇය වචන වලින් මට ප‍්‍රතිප‍්‍රහාර දෙනවා. නමුත්, මොහොතකින් ඇයම නැවත මා හා ආදරෙන් බැඳෙනවා…


2019 දෙසැම්බර් 31 වන දින.
මා මිතුරා ඇය හා විවාහ වී සිටිනවා. මාගේ කතාන්තදරය නිමවූයේ මේ අවුරුද්ද මුලදීමයි.