මේ ලෝකය හැර යන්නට මට ඇත්තේ තවත් ස්වල්ප මොහොතක් පමණයි. දැනටමත් මාගේ පෙණහළු සහ පපුව මත කිලෝ ගණනක බරක් ඇති බව මට වැටහෙයි. කාලය පිළිබඳව අවබෝධයක් මට නැති තරම්ය. ඇඳේ තනිව සිටින මා බැලීමටවත් ඔබ නොපැමිණියේ මා කෙරෙහි ඇති තරහව ද නැතිනම් ඔබට මා දුක් විඳිනු බැලීමට ඇති දුක ද යන වග මම නොදනිමි. එහෙත් මා හට ඔබටත්, මාව වැරදිකරුවෙකු කරනා ලෝකයාටත් කරන්නට පාපෝච්චාරණයක් ඇත. එයට සවන්දීමෙන් පසුව කැමති තීරණයක් ගන්නට සියල්ලන්ටම ඉඩ ඇත.

මේ විශාල ප‍්‍රශ්ණයට ආරම්භය මීට වසර 20කටත් පෙරට ඇදී යයි. මුල්ම වාරය නම් දඩබ්බර තරුණ වියේ ඇතිවූ කුතුහලයට සිදුවූවකි. එය මහා රසවත් එකක් නොවූවත්, වයසේ වැරැුද්දට සිදුවිය යුතුවකි. ඉන් පසුව එළැඹෙන්නේ මිතුරු හවුලේ අතින් අතට යන එකක් භාවිතා කරනා කාලයයි. අමාරුවෙන් උගුරක් දෙකක් ඇද ගන්නට විනාඩියක් පමණ බලා සිටිය යුතුවේ. වැඩි වෙලා තබාගෙන ඇද්දොත් එතැනත් මිතුරන්ගෙන් මඩ ප‍්‍රහාරය.

“බොරුවට කට හෝදන්න එපා බං. නාස්ති නොකර බොන එකෙක්ට දීපං ඕක.” දකිනා එකෙක් කෑගසයි. අදිනා උගුර හරියට ඇදිය යුතුය.

මෙවැනි අවුරුදු ගණනාවක් ගත වෙන්නේ හරි ආශ්වාසය, රඳවා ගැනීමේ කාලය සහ ප‍්‍රාශ්වාසය ගෙන පර්යේශණ වලටය. උජාරුවෙන් එකක් කටේ තබාගෙන ගැසීමට ඉඩක් මේ කාලයේ නොමැත. කිසියම් හෝ කෙනෙක් දුටුවහොත්, එය ජීවිතයේ අවසානය. ගඳ හංගා ගැනීමේ කලාවද මා ප‍්‍රගුණ කලේ මේ කාල වකවානුවේදීය. මිය යනතෙක්ම, වත්තේ පේර ගස් දළු නොවැඩෙනා ආකාරය සහ ගේට්ටුව අසල රැුස්වන හැක්ස් ටොපි වල අයිතිකාරයා කවුරුන්දැයි අම්මාට හෝ තාත්තාට සොයාගන්නට නොහැකි විය.

සුන්දර කාලය අවසන් වන්නට ගත වූයේ අවුරුදු කිහිපයකි. සමාජයට පය තබා ප‍්‍රශ්ණ වලට ජීවන අරගලයට අපිත් පිවිසෙන විටෙම දුක කියන්නට සිටි ලාභම සහ ලේසිම මිතුරා ඔහුය. වැඩපල අසල කඩයක් අයිනේ ප්ලේන්ටියේ දුමට හංගා ඇදෙන දුම් වලට වැරදිකරුවන් වැඩපලේ මේසය මත ගොඩගැහෙනා ලිපිගොණුය. ලොකු එවුන් අපට හලනා කරුම වලට වන්දි ගෙවන්නේ පිච්චෙන දුම්කොලය. කාර්්‍යාලයේ දුක් නිවන්නට දුමෙන් පිළිතුරු සොයන්නට ආ මට පිච්චීගෙන යන උගුරේ වේදනාව දැනෙන්නට වූ විට කාර්්‍යාලයේ දුක සැපතක් යැයි නැවත සිහිවී, එයටම දිවූ වාර අප‍්‍රමාණය. ප‍්‍රශ්ණ වලට පිලිතුරු සොයන්නට මේ දේ කරන්නෙමි යැයි මා කියන්නේ නැත, එහෙත් ප‍්‍රශ්ණ වල දුක දරාගැනීමට හිත එකඟ කරගන්න මේ වේදනාව අවශ්‍යය.

ඔබව මා හට මුණ ගැහුනේ මීට අවුරුදු 15කට පමණ පෙරය. රැවුල් කොට වලින් පිරි අපිලිවෙල මාගේ මුහුණට ඔබ ආදරය කරන්නට පටන් ගත් පසු මගේ සිතුවිලි වලට පණ දෙන්නට උදව් කලේත් ඔහුමය. අහම්බයකින් ඔහුව ඔබට මුලින්ම හමු වූ දා ඔබ මගේ මුහුණ වත් බැලූවේ නැත.

“ඕවා කටේ ගහන තොල් වලින් මාව නම් ඉඹින්න එන්න එපා. අනික මගේ දරුවන්ට තාත්තා කෙනෙක් ඉන්න ඕනේ අඩු වයසින් නොමැරී.”

අවුරුදු ගණනාවක් මා දැන සිටි කෙනාව මා ඈත් කලේ ඔබගේ කිස් එකට පෙරේත වූ නිසාය. තවත් වසර ගණනාවක් ගත වූයේ ඔහු වෙනුවෙන් කල වියදම්, ඔබව සතුටු කරන්නට යෙදවීමටය. එයට ඔබ දුන් නිර්වචන ආදරයයි. එපමණ ආදරේ යැයි පවසූ ඔබ, පසු කාලයක මා හා රණ්ඩු වී ලෝකයාටම දුක කියනා කල, නැවතත් මාගේ දුක අසන්නට පිහිට වූයේ ද ඔහුමය. ඔබගේ චෝදනා, පවුලේ බර, මුදල් ප‍්‍රශ්ණ හා මෙකී නොකී සෑම දේකින්ම එන පීඩනය වෙනත් අයගේ පිටින් නොයවා මා තුලම සිර කරගන්නට මට කියා දුන්නේ ඔහුය. මේ කාලය වන විට ඔහු මා හට ඔහුගේම මිතුරෙක් හඳුන්වා දුන්නේය. ඔහු නමින් කැස්ස විය.

සමාජයෙන් මේ ගැන නොයෙකුත් විරෝධතා ඇති වනවා මා දැක ඇත. පුදුමයක් නම් ඒ සියල්ලටම මුල් වන එකෙකු වත් මේ දේ අත්දැක නැත. අනෙක් කරුණ නම් ඒ කිසිවෙක් ජීවිතයේ කටුක අත්දැකීමක් නොලැබූ අයයි. ජීවිතයේ ප‍්‍රශ්ණ ආ පමණින් මෙයින් විසඳුම් සොයන්න යැයි මා පවසන්නේ නැත. මෙයට විරුද්ධව බණ කියනා දහසක් දෙනාගෙන් කෙනෙක් වන ඔබේ හොඳම මිතුරිය නිතර පැවසූ දෙයක් මාගේ මතකයේ ඇත.

“අපිත් ලයිෆ් එකේ දුක් විඳලා තියෙනවා ඒයි.. හැබැයි කවදාවත් ඕවා වලින් සැනසුම ලබන්න තරම් අපි වීක් වෙලා නැහැ.”

ඇයගේ ලයිෆ් එකේ මා දන්නා තරමින් තිබුණු ලොකුම ප‍්‍රශ්ණ නම්, දිවා ආහාරයට පසු ස්ට්‍රෝබෙරි අයිස්ක‍්‍රීම් වෙනුවට වැනිලා කන්න සිදුවීමය, නැතහොත් ලබාගත් සෙල්ෆියේ ඇහැක් පියවී තිබීමයි. අකමැති මිනිසුන් මැද අකමැති රැකියාවක් කරනා මා, හෙම්බත් වී බසයෙන් බහින විටෙක මාගේ හෘද සාක්‍ෂිය කරනා ශාපයේ දුක ගෙන ඇය දන්නේ නැත. මැරෙන්නට බය මිනිසුන් අතර තමාව මරා නිහඩ කරවා එකම දේ කර වෙනස් ප‍්‍රථිපලයක් අපේක්‍ෂා කරන්නට තරම් චින්තනය වීක් වීම ගෙන ඇය දන්නේ නැත.

මා අසනීප වී විඳවනා හැටි බලන්නට ඔබට නොහැකි නිසා ඔබ මා රෝගී වූ දින පටන් වැඩි ආශ‍්‍රයක් තිබුණේ නැත. එහෙත් මා සැබෑවටම විඳවූ කාලයේ ඔබ මා දෙස බලා ආදරයෙන් සිනාසී පැවසුවේ අන් අය වෙනුවෙන් කරන කැපකිරීම් යනු ආදරයේ සංකේත බවයි. අවසානයේදී මාගේ අසීරු කාලයන් වල සිටි ඔහුව ආශ‍්‍රය කලා යැයි වරදට, ඒ කාල වල පැත්තවත් නොබැලූ මිනිසුන් පිරිසක් මැද ඔබ මා වැරදිකරු කලා අදටත් මාගේ මතකයේ ඇත.

මා ඔබට වැරැුද්දක් පටවන්නේ නැත. මා නිවැරදි බව ඔප්පු කරන්නට උත්සාහ කරන්නේද නැත. මින් පසුවත් සියළු දෙනාම එක්වී මා වැරදිකාරයා යැයි හංවඩු ගැසූවත් මට කමක් නැත. මට අවශ්‍යය වූයේ මගේ කතාව කීමට පමණි. මා හට සමාවක් නොදෙන්න, එහෙත් මාව අවබෝධ කර………..

…::: නිමි :::…