මම ගොඩක් Cynical සහ Pessimistic විදිහට හිතන කෙනෙක්. ඒ නිසා මේ කියන දේවල් සිහි බුද්ධියෙන් කියවලා තේරුම්ගන්න.

සරළම උත්තරය තමයි නැහැ. ගොන් නැහැ. උන් පට්ටම කපටියි. ඒ වගේම හරිම අවස්ථාව එනකම් අනුගමනය කරන්නේ කල් මැරීමේ ප්‍රතිපත්තිය. මගේ අත්දැකීම හැටියට ලෝකේ භයානකම දෙයක් තමයි වැරදි දත්ත කියන්නේ. බොහෝමයක් වෙලාවට තීරණ ගන්නා අයට මේ දත්ත ලබා දෙන්නේ තවත් කෙනෙක්. මේ ලබා දෙන දත්ත මත පදනම් වෙලා තමයි ඉහළ පෙලේ අය ඒවා ප්‍රකාශ කරලා තීන්දු තීරණ ගන්නේ. මේ වෙලාවේ එයාලා කරන්නේ හරි දත්ත රැස් කරන එක මේ අරගලය ගැන.

නිකමට හරි දත්ත ලබා දෙන කෙනාගේ නොහැකියාව, නොදැනුවත්කම හෝ හිතාමතාම වැරදි ලබා දීම නිසා ලොකු ගැටළු මතු වෙන්න පුළුවන්. ඒවා හොයලා බලන්නේ නැතිව කෙලින්ම තීරණ සඳහා යොදා ගත්තොත් ඊට වඩා ගැටළුවක්. අරගල බිමේ රාජපක්ෂලා හොරකම් කලා කියලා සඳහන් වෙන විශාල වටිනාකමක් ඇති බැනර් එකේ පවා තියෙන්නේ මෙන්න මේ වැරදි දත්ත නිසා ඇතිවුණු වැරැද්දක්.

වර්තමාන පාලකයෝ වටේ ඉන්න උපදේශකලා දිහා බැලුවොත් මේ ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඉස්සර ඉඳන්ම රාජපක්ෂ පවුලේ තිබුණු වැරද්දක් තමයි, තමන්ට හිතවත් කියලා මෝඩයින් ලංකරගෙන එයාලාගෙන් තමන්ට අවශ්‍යය දත්ත ලබා ගත්තු එක. කියන කියන දේ කරන්න ලේසි වුණාට, මේ අයගෙන් ලැබෙන වැරදි දත්ත නිසා දීර්ගකාලීනව විඳින්න වුණු කරදර බොහෝමයි. හොඳම උදාහරණය තමයි කබ්රාල්ව මහ බැංකුවට දාලා එයාගේ උපදෙස් මත ක්‍රියාකරපු එක. මෙච්චර ආර්ථිකය කෙළ වෙනකම් ඉන්න වෙන්නත් ඒක හේතුවක්.

ඊටත් වඩා මේ පාලකයින්ට වැරදි තොරතුරු සහ උපදෙස් ලබා දෙන සෙට් එක තමයි මාධ්‍යය උපදේශකයෝ ටික. සමාජ මාධ්‍යය වලට පින් සිද්ද වෙන්න අපිට තරමක් තොරතුරු කෙළින්ම ආවත්, අදටත් රටේ බහුතරයක් දෙනා බලන්නේ ටී.වී එක, රේඩියෝ එක. නැත්තම් පත්තරය. විශේෂයෙන්ම ගම්බද පැති වල මේ දේවල් විතරමයි ප්‍රධාන සන්නිවේදන මාධ්‍යයන් වෙන්නේ. ඉතිං මේ මිනිස්සුන්ගේ මොළ ටිකට කුණු පුරවන එක තමයි එදා ඉඳන්ම මේ උපදේශකයෝ ටික කළේ. අමතක කරන්න එපා වැඩිම ඡන්ද පදනමක් තියෙන්නේත් මේ පැති වලම තමයි. අදටත් උන් හිතන් ඉන්නේ උන්ගේ උපක්‍රම ටික වැඩ කරනවා කියලා. ඒකයි තවමත් ජාතිවාදී නාටකය, කොණ්ඩම් කතා වස්තුව වගේ ඒවා රඟපාන්නේ. නමුත් ඇත්ත කියන්න ඕනේ, ඒවා හොඳට වැඩ කරනවා ගම්බද පැති වලට. අන්න ඒ දත්ත තවමත් හොඳ තත්වයක තියෙන නිසා වෙන්න පුළුවන් පාලකයෝ තවමත් නිෂ්ශබ්ද

ඒ වගේම දැනටත් මේ අරගලය ඇතුලේම එයාලාගේ නියෝජිතයෝ ඉන්නවා. නිකමට හිතන්න එක පාර Anonymous මැසේජ් එකක් එනවා. එක පාර උගන්ඩාවේ ගුවන් යානා ගැන තොරතුරු මතු වෙනවා. මිනිස්සු මේවා හයිලයිට් කරලා කෑගහන්න ගන්නවා කිසිම research එකක් නැතිව. එක පාර මේවා බොරු ප්‍රචාර කියලා ඔප්පු වුණොත්? උන්ට පුළුවන් කෙළින්ම ඒක අල්ලන් අනිත් චෝදනා ටිකත් බොරු කරන්න. ඒ වැඩේට ඔය වටේ ඉන්න උන් හරි දක්ෂයි. ඒ වගේම එක පාර අරගලයට එකතු වෙනවා ටිකක් ප්‍රිසිද්ධ චරිත. එයාලාව අරගලයේ වීරයෝ බවට පත් වෙනවා. හැබැයි එක පාර මේ පුද්ගලයාගේ integrity එක නැති වුණොත්? එයා අරගලයේ නියෝජිකයා වෙලා වැරදි ප්‍රකාශයක් කළොත්? මේ දේවල් ගෙන හොඳ අවධානයෙන් පිරිසක් තවමත් දත්ත රැස් කරනවා අපි අතරම ඉඳන්. මේවා රාජපක්ෂලාට අළුත් දේවල් නෙමෙයි.

ඒ වගේම එක පාර බන්දු සමරසිංහට පට්ටමක් දෙනවා කියලා එකක් යනවා, අවධානය වෙනතකට යොමු කරන්න හදන තවත් උත්හාසයක් වෙන්න පුළුවන්. දැන් දැන් අරගලය තියෙන තැනට එක එක Brands සහ Marketing එන්න පටන් අරන් තියෙනවා. ඒ එක දේක integrity එක නැති කළා නම්, එතැනින් එහාට ඒක පත්තු කරගන්න උන් දන්නවා. තවමත් බහුතරයක් මාධ්‍යය බලය තියෙන්නේ එයාලාගේ අතේ. අනික අපි ගම් හදලා, ගම දියුණු කරලා කොච්චර දේවල් කලත්, ඒවා එළියට යනවාද? යන්නේ කොයි විදිහට ද කියන දේ තීරණය කරන්න පාලකයින්ට පුළුවන්.

මෙකෙදී වැදගත්ම සාධකය විදිහට අපි හිතනවා ආරක්ෂක අංශ වල සහය අරගලයට ලැබෙන එක කියලා. නිකමට හරි එහෙම දෙයක් වුණොත්, ඒකත් මේ නාටකේම කෑල්ලක් වෙන්න පුළුවන්. මොකද උන් හොඳින්ම දන්න දෙයක් තමයි, ඇත්තටම මේ ප්‍රශ්ණ වලින් බැට කන මිනිහා තවමත් එදා වේල හම්බුකරගන්න දහස ගානේ මැරෙනවා කියන එක. මෙතැන ඉන්න පිරිස දිහා බැලුවාම උන් ඒක ගාණට තේරුම් ගන්නවා. ඒකමයි ජාතිවාදී ලේබල් එකත් අරන් එන්නේ. ඒකමයි උන් පන්ති භේදයත් අල්ලගන්නේ.

අපි කොච්චර බැණ්නත්, පතිරණලා, ගිණිගේලා සහ ඉරාජ්ලා කියන්නේ පහළ පෙලේ චරිත රඟදක්වන අය. මැද පෙල ඉන්නවා සෙට් එකක් අර මම කළින් කිව්ව වැරදි දත්ත ලබා දෙන උපදේශකවරු. අපිට නොපෙනී මේක පිටිපස්සේ ඉන්නවා ඊට වඩා භයානක පිරිසක්. අන්න උන් ගැනයි අපි විමසිලිමත් වෙන්න ඕනේ. අවංකවම මම තවමත් හිතනවා රාජපක්ෂලාට පුළුවන් මේකට ශොට් එක දෙන්න. අපිට ලැබෙන දත්ත හරි විදිහට කියවමු. ඒ නිසා සතුරා කිසි විටෙක අවතක්සේරුවට ලක් කරන්න එපා.