හැම වෙලේම සමාජ මාධ්‍යය වල එක එක ඒවා දැම්මාට ඇත්තටම අරගල බිමට යන්න බැරි වුණ එක ගෙන මට තිබ්ඛේ guilty feeling එකක්. එකක් මම ඉන්න හරියේ ලොකුවට කට්ටිය රැස් වෙන්නේ නැහැ. බහුතරයක්ම ඉන්නේ මහින්දවාදියෝ. අනිත් කාරණාව මට දුරකට යන්න වාහනයක් නැහැ.

මම වටේම ඉව කර කර හිටියා ඔත්තුවක් එනකම් මේ අවට උද්ගෝශණයක් තියෙන්නේ කොහෙද බලන්න. හවස Supun ඔත්තුවක් දුන්නා එන්න කියලා IDH එකට කට්ටිය රැස් වෙලා ඉන්නවා කියලා. මට ඉතින් ෆුල් හැපි.

ගෙදරින් යද්දිම අප්පච්චි කිව්වා

“ඕකුන්ට අපි ඡන්දේ දුන්නේ නැහැනේ. දුන්න උන්ටම ගිහින් ගුටි කාලා එළවලා දාන්න කියන්න. ඇයි ඔයා යන්නේ කියලා.”

“කවුරු කලත් දැන් අපි සේරම මේකෙන් විඳවනවානේ. අනික මම මේ යන්නේ මගේ දේවල් නිසා නෙමෙයි මේක රටේ ප්‍රශ්ණයක් නිසා”

උදාන වාක්‍යයක් කියලා මම බැස්සා ඉක්මනට ඇඳගෙන ගෙදරින් එළියට. බෝඩ් එකක් නැති නිසා දාගත්තා Marker Pen එකක් සාක්කුවට. අහුවෙන එකක ලියනවා. දෙන්න වදන් ද නැත්තේ අපිට..

අංගොඩ ඉඳන් IDH එකට තියෙනවා කිලෝ මීටර් 2ක් විතර. තියෙන ගැම්මට එක පිම්මට මම ඒ දිහාවට ගියා.

මගදී මට දැන් මැවිලා පේනවා උද්ගෝශණයට පොලිසිය කේස් දානවා. මම ගේම ඉල්ලනවා. කවුරු හරි මයික් එක ඇල්ලුවොත් කියන කතාවත් මම රෙඩි කරගත්තා.

“මේක පෞද්ගලික ආරවුලක් නෙමෙයි. මේක රට වෙනුවෙන් ප්‍රශ්ණයක්. මේක 225කට එරෙහි සටනක්. මම ඉල්ලනවා අපේ ආරක්ෂක අංශ වලට අපිත් එක්ක එකතු වෙන්න කියලා මේ සටනට. දැනට මේ දූෂිත පාලකයින් සහ අපි අතර තියෙන එකම බැම්ම ඔයාලා විතරයි.”

මෙහෙම හිත හිත මම වැලිවල හරියට එද්දී මෙන්න පොඩි වැස්සකුත් පටන් ගත්තා. දැන් තවත් වැඩේ මොරාල්. ෆුල්ම සිනෙමැටික්. ගත්තා සුප්පාට කෝල් එකක්. ඌ ආන්සර් කලේ නැහැ.

බුවා වැස්සේ කෑගහන නිසා සද්දේ ඇහෙන්නේ නැතිව ඇති!

මම තවත් අඩිය ඉක්මන් කලා.

මෙන්න ආඩිහේන ෆුඩ්සිටිය ලඟ ඉන්නවා 15ක් විතර සෙට් එකක් බෝඩ් අල්ලගෙන. IDH හන්දියේ උද්ගෝශණය මෙච්චරක් දිගට තියෙද්දී දැනෙන සතුට කොහොමද?

සම්පත් බැංකුව පහු කරද්දී සෙනග ටිකක් අඩු වුණා. ඊලඟ නැවතුම අරගල භූමිය. හැබැයි අරගල භූමිය හිස්. පොලිසියේ අයියලා දෙන්නෙක් විතර එතන හිටියා. මෙන්න සුප්පා කෝල් කරනවා…

“අඩෝ… කෝල් එක මිස් වුණා… කියපං.”

“කොහෙද උඹ ඉන්නේ.. මම හන්දියේ දැන්. කෝ මෙතැන මොකෙක්වත් නැහැනේ…”

“මාර සීන් එකනේ වුණේ කොල්ලෝ… වැස්සක් ආව ගමන් කට්ටිය මිසින් වුණානේ. සෙට් සෙට් එහේ මෙහේ ගියා ඉතිං.”

“උඹ දැන් කොහෙද ඉන්නේ…?”

“ආහ්.. මමත් ඉතිං ගෙදර පැත්තට මේ ආවා… පොඩ්ඩක් පලයං හික්ගහවත්ත පැත්තේ ඇති තව සෙට් එකක්…”

මෙහෙම උන් එක්කනේ අපි අරගල කරන්න හදන්නේ… මට ඉතිං වෙන තැන් වල යන්න විදිහක් නැහැ පයින්. මම ආයෙමත් ගෙදර ආවා.

හැබැයි එක දෙයක්. හෙටත් මම එනවා. උඹලා වෙනුවෙන් මම හෙටත් කියන තැනකට එනවා.

ඒක ඉස්තීරයි.