කෝවිඩ්-19 වසංගතය ලොව පුරා සෑම සියලු දෙනාටම පීඩා ගෙන දෙන වසංගතයක් යැයි සෑම කෙනෙක්ම පවසන කරුණකි. නමුත් මගේ මතය නම් එය එසේ නොවන බවයි. ඊයේ මාගේ ඩෙනිම පිළිබඳව පැවසූ කතාවේ මා කෝවිඩ්-19 වෛරසය කෙතරම් බුද්ධිමත් වෛරසයක් ද යන්න සහ මා වැනි වාහකයින්ට අනතුරක් නොකර රැකගැනීමට තරම් සූක්ෂම ද යන බව පැහැදිලි කලා ඔබට මතක ඇති යැයි සිතමි. අද මාගේ කතාවේ අරමුණ එකී වෛරසය සැමටම එක හා සමානව නොව ආකාර කිහිපයකට සලකන ආකාරය ඔබට පැවසීමයි.
සමාජයේ ලොකු මිනිසුන් නම් කොට්ඨාශයක් ඇත. සල්ලිකාර, බලයට කෑදර සහ සත්ව කරුණාව ඉහවහා ගිය පිරිස මාගේ මේ වර්ගීකරණයට අයත් වේ. කලින් මා ලියූ ලිපියක පැවසූ පරිදි මිනිසුන් අපට කුලක කර ඛෙදා වෙන්කල හැකි නොවන නිසා මේ ගතිගුණ නොමැති අය පවා මේ කොට්ඨාශයේ සිටිය හැකි බව කරුණාවෙන් සලකන්න.
කෝවිඩ්-19 මෙරටට ආ දවසේ පටන් මේ පිරිස මුහුණු ආවරණ පැලැන්දෝය. ඒකත් අර ඌරු හොම්බ මොඩල් එකේ N95 වර්ගයේ ඒවාය. නිතරම Sanitizer අතැතිව ගමන් කළෝය. සාමාන්‍යය පුද්ගලයෙක් අහලකටවත් පැමිණෙනවාට මොවුන්ගේ කැමැත්තක් නැත. දින පතා රටේ රෝගීන් ගණන දෙස බලමින් සෑම දෙනාටම දෝශාරෝපණය කළෝය. තම නිවසේ සේවය කරන වැඩකාරියගෙන් තමන්ට කෝවිඩ්-19 වැළඳීමට බොහෝ ඉඩක් ඇති බව මොවුන් විශ්වාස කළෝය. දිවියේ කිසිමදාක කොත්තමල්ලී නොබීපු මොවුන්ගේ පොඩි උන්ට බලෙන් කොත්තමල්ලි පෙව්වෝය. පෙර සිටම රෝහල් සහ හෝටල් වල කාමර වෙන්කරගෙන පණ ගැටගසාගැනීමට පෙරසූදානම් වූවෝය. කරුමයකට හෝ කෝවිඩ්-19 වැළඳී දිවි ගලවාගත්තොත්, සමාජ මාධ්‍යය වල සුරාසුර යුද්ධය ජයගත්තාක් මෙන් වහසිබස් දෙඩුවෝය. කෝවිඩ්-19 වෛරසය වැඩිපුරම මුදල් උපයාගත්තේ මෙවැනි අයගෙනි.
මෙරට සාපලත්ම පන්තිය නම් මධ්‍යම පන්තියයි. පෙර කී ලොකු උන්ගේ දේවල් දැක දැක ඒවා නොකර ඉන්නටත් හැකියාවක් මොවුන්ට නැත. ඉහල පන්තිය සහ පහල පන්තිය අතර ඇති මැද පුරුක නිසා, යන්තම් හෝ අනිත් උන්ට වඩා උසස් ආකාරයට පෙන්වීමට ඔවුනුත් කෙසේ හෝ ලොකු උන්ගේ පුරුදු කිහිපයක් ආදර්ශයට ගත්තෝය. පළමුවන රැල්ලේ දී වැඩේ ශේප කරගැනීම අපහසු නොවීය. දෙවෙනි සහ තුන්වන රැල්ල පැමිනීමත් සමග තවත් සමාජ තත්වය වසා ගැනීමට ඔවුන්ට නොහැකි විය. වාහන වාරික, උසස් ජීවන රටාව සහ ආදායම් වියදම් අතර පරතරය නිසාම ඔවුන්ට අත්වූ ඉරණම අන් අයට වඩා සෝචනීය විය.
නිතරම පොසිටිව් වූයේද මෙකී පන්තියේ අයයි. කෝවිඩ්-19 තමන්ගේ ආතල් සඳහා තෝරාගත්තේ මේ පන්තියයි. නිතරම රෝග ලක්ෂණ පෙන්වමින්, PCR පරීක්ෂණ Negative කරමින් නිතර නිතර PCR සිදුකිරීමට බල කලේ මෙකී පන්තියටයි. ලොකු උන් හඳුනන මාර්ග හරහා එන්නත් ලබාගනිද්දී, පොඩි මිනිහා සමග එකම එන්නත්කරණ පෝලිමේ සිටින්නට වූයේත් මේ මැද පන්තියේ එකාටමයි. අමුත්තන් ගණන 150 සිට 50 දක්වා නිතර වෙනස් කරමින් Wedding ගන්නට සිදුවූයේ ද මේ පන්තියේ අයටමයි.
පොඩි පන්තියේ මිනිහාට කවදත් කෝවිඩ්-19 හැදුනා හා සමානය. අධික වෙහෙසීම නිසා නිතර ඇඟපත රුදාවය. ප්‍රශ්ණ නිමක් නැති නිසා හිසේ කැක්කුම නිවුන් සොහොයුරා මෙන්ය. උපන් දා පටන් පීනස ඇති නිසා සෙමය. කෝවිඩ්-19 ඇතිදැයි දැනගැනීමට පර්යේෂණයක් කරනවාට වඩා ඒ මුදලින් දහසක් වැඩ කිරීමට ඇත. කෝවිඩ්-19 වැළඳී ඉඛේම හොඳ වුණත් ඔවුන් දන්නේ නැත. දිනකට මරණ 200 පැන්නත් ඔවුන් එය කරුමයට භාර දෙයි. සර්ජිකල් මාක්ස් එක පවා හෝද හෝදා භාවිතා කරන්නට සිදුවන වාර අනන්තය.
නමුත් පාරේ මිනිසෙක් මැරී වැටුනත් මුලින්ම එන්නේ මේ පොඩි මිනිසාය. හැකි අයුරින් නිරෝධානයවන නිවසකට බත් ටිකක් දෙන්නේ මේ පොඩි මිනිසාමය. කෝවිඩ්-19 වැළඳුනු මැද පන්තියේ මිනිහෙක් රෝහලට ගෙනයන්න ඉදිරිපත් වන්නේත් මේ පොඩි මිනිසාමය. තම පවුලේ එකෙකුට කෝවිඩ්-19 වැළඳුනහොත් ඌව තනි නොකරන එකම පුද්ගලයාත් මේ පොඩි මිනිසාමය. මාධ්‍යය හරහා සහ අනිත් පන්ති දෙකෙන්ම වැඩිපුර දෝශාරෝපණය එල්ලවන්නේත් මේ පොඩි මිනිසාටමය.
කෝවිඩ්-19ට මොහු වැඩක් නැත. සල්ලි නැති නිසා මූල්‍යමය වටිනාකමක් ඇත්තේම නැත. ආතල් ගන්න තරම් ඔවුන් රෝගය ගෙන වැඩිපුර සිතන්නේ නැත. ඒ නිසා ඔවුන්ට ඇති එකම සුදුසුකම මරණයයි. වියතුන් තමන් වෙනුවෙන් නිවැරදි දේ කරනා බවටත්, පාලකයෝ පවා මේ මොහොතේ අසරණ නිසා ඔවුන් දෙස නොබලනා බවටත් පිළිගන්නේ මොවුන්මය. කෝවිඩ්-19 වැඩිපුර බිලිගත්තේ ද මේ පොඩි මිනිහාවමයි.
කෝවිඩ්-19 පන්තිය බලා පහර දීමට තරම් බුද්ධිමත් වෛරසයකි. ලොකු මිනිහාගෙන් මැද මිනිහාට සහ මැද මිනිහාගෙන් පොඩි මිනිහාට සංසරණය වුණු මුදල් වටිනාකම නැවතත් ලොකු මිනිහාට ලබා දෙනතෙක් කෝවිඩ්-19 තම රාජකාරිය නවත්වන්නේ නැත. ඒ නිසා මෙකී වෛරසය, ගෝලීයව හැම දෙනාටම එකම ආකාරයෙන් බලපෑ බව මම කිසිසේත්ම පිළිනොගනිමි.