බොහෝ දෙනා පරිඝණක ක්‍රීඩා සඳහා කුඩා කළ පටන් කැමැත්තක් තිබුණත් මා ආශා කලේ ඒවා ක්‍රීඩා කරනා ආකාරය නැරමීමටය. අවන්ත අයියාගේ කාට්රිජ් ගේම් නැරඹීමේ පටන්, දුලී අයියාගේ පරණ පෙන්ටියම් කම්පියුටරේ සිට චරියාගේ සහ කෙවිනාගේ දියුණු පරිගණකවල ක්‍රීඩා කරනා ආකාරය මා නරඹන්නට ප්‍රිය කලෙමි.

නමුත් මාගේ දිවිය පුරාවට මා ක්‍රීඩා කර ඇත්තේ එකම Strategy වර්ගයේ ක්‍රීඩාවක් වන Age of Empires නම් ක්‍රීඩාවයි. මෙය බොහෝ දෙනෙක් දන්නා හඳුනන ගේම් එකක් නිසා ඒ පිළිබඳව වැඩි තොරතුරු පැවසීමට මා කාලය වැය නොකරමි. යළිත් වරක් ඒ ගේම් එකේ මතකය මා හට අවදිවූයේ ජනාධිපතිතුමාගේ ජාතිය ඇමතීමෙත් සමග වීම සුවිශේෂී කරුණකි.

රටක් පවත්වාගෙන යාම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එක්වරක් හෝ Age of Empires ක්‍රීඩා කල අයෙක් ඒ බව හොඳින් දන්නවා ඇති බව මට විශ්වාසය. තම ජනයාගේ දියුණුව, ආර්ථිකයේ ස්ථාවරත්වය, සතුරු ආක්‍රමණ මැඩ පැවැත්වීම සහ ශිෂ්ඨාචාරයක් ලෙස දියුණුවීම දක්වා භාරධූර වගකීමක් මෙහිදී ක්‍රීඩකයා හට පැටවේ. මේ තත්වයම මදක් සැබෑ රටේ පාලකයෙකු ලෙස සිතුවොත් එහි ඇති බරපතලකම සිය දහස් ගුණයකින් වැඩිවන බව අමුතුවෙන් පැවසිය යුතු නැත.

අද ජනාධිපතිතුමාගේ කතාවේ තිබුණේ එවැනි භාරධූර ක්‍රියාවක් කරනා Pro Player කෙනෙකුගේ වැනි වගකිවයුතු අන්තර්ගතයකි. නමුත් මා හට ගැටළු මතු වන තැන් කිහිපයක් ඇත.

අපේ රට වසන්නට තිබුණේ අවුරුදු මාසයේය. විනයක් නැති හැත්ත බුරුත්තක් සහ පෞද්ගලික අපේක්ෂාවන් වෙනුවෙන් නීති නවනා පාලකයින් පිරිසක් අවුරුදු කෑම නිසා මේ වර්ථමාන තත්වය ආරම්භ විය. අද මේ අප ප්‍රතිඵල භුක්ති විඳින්නේ එවුන් නිසාවෙනි. නිසි කලට ඒ තීරණ නොගත්තේ අපි ද?

එතුමා පැවසුවා මෙන්, පළමුවැනි රැල්ලේ රට වැසූ නිසා ඉතිරිකරගත් මුදලින් ජීවිතය ගැටගසාගත් අතර, දෙවැනි රැල්ලේදී ණය වී හෝ තිබූ දෙයක් විකුණා ජීවිතය ගැටගසාගන්නට සිදුවිය. දැන් නැවතත් දීර්ඝ ලොක්ඩවුන් එකකට ගියහොත් රටේ ආර්ථිකය නැත්තටම නැති වී කෙළ වෙනවා නොඅනුමානය. AOE ක්‍රීඩාවට අනුව නම් දැන් සතුරු ආක්‍රමණයකට මුහුණදීමට හමුදාවක් සාදා ගන්නට තරම් සම්පත් ප්‍රමාණයක් අප සතුව නැත. එකී සම්පත් ටික විනාශ කලේ අපි ද?

ජනාධිපතිතුමා කියූ කාරණය සත්‍යය. ජීවිත හානියට වඩා ආර්ථික හානිය දැඩිව රටකට හානි කරයි. මියයන ජීවිත වල වටිනාකමක් නැති බව මා මෙයින් අදහස් නොකරමි. නමුත් දිගුකාලීනව සිතන කළ වාතාවරණය කුමක් වුනත් රටේ ආර්ථිකය ගෙන යා යුතුමයි. මෑත කාලයේ නව ව්‍යාපාර ආරම්භවනවාට වඩා මා දුටුවේ පවතින ව්‍යාපාර පවා වැටෙනා ආකාරයකි. රටේ සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවල තත්වය ඉතා භයානකය. ආයතන වලින් වැටුපක් ගන්නා කෙනෙක්ට රට වැසීම නිවසේ සිට තම වැටුප ලබාගැනීම පමණක් වුවත්, එහි පාලනාධිකාරියට ව්‍යාපාරය ක්‍රියාත්මක නොවීම මරු පහරකි.

ශක්තිමක් ආර්ථිකයක් ගොඩනැගූ කළ, රටට එල්ලවන තර්ජන සහ උවදුරු දුරු කිරීමට ක්‍රියාමාර්ග ගැනීමට පාලකයින්ට විශාල පිටුවහලක් ලැඛේ. AOE ගේම් එකේ නීතිය නම් එසේය. නමුත් අපිට එසේ කිරීමට නොහැක්කේ ඇයි?

රටේ ජනතාව වෙහෙසී, කැපවී රටේ ආර්ථිකය නැවත නගා සිටුවීමට ක්‍රියා කලත් මේ රටට ඇති, AOE ගේම් එකට නැති තීරණාත්මක හේතුවක් ඇත. එනම් දූෂණය සහ වංචාවයි.

අපි කෙතරම් මහන්සි වී ආර්ථිකය සැදුවත්, එයින් ප්‍රතිලාභ විඳින්නේ මහා ව්‍යාපාරිකයින් යැයි කියනා ධනපති පවුල් කිහිපයකි. එසේම ඒ මුදල් වංචා කිරීමට සැදී පැහැදී සිටින්නේ ඊට නොදෙවෙනි දේශපාලකයෝ පිරිසකි. AOE ගේම් එකේ නැති, අපේ රටේ ඇති තීරණාත්මක හේතුව මේවායි. මෙකී වංචාකරුවන් සහ දූශිතයින් පිටුපස සිටින්නේ ඔවුන්ගෙන් යැපෙනා වන්දිභට්ටෝය. ඔවුන්ගේ කුණු සෝදනා පිරිසයි. ස්වාධීන මතකයට ඉඩ නොදෙනා මාධ්‍යයයි. මේවාත් AOE ක්‍රීඩාවේ නැති සාධකය.

ජනාධිපතිතුමනි, ඔබගේ වගකීම AOE ක්‍රීඩා කරනා පාලකයෙකුගේ වගකීම හා සංසන්දනය කරන්නටවත් බැරි බව මා දනිමි. නමුත්, අද ඔබතුමා පැවසූ බිල්ලන් සිටින්නේත් ඔය පාලකයින් අතරමය. අපි මේ ක්‍රීඩාව තුල සිටිනා චරිත වෙමු. Cheat Codes භාවිතා කරන්නේ ඔබතුමා සමග ක්‍රීඩා කරනා අනෙත් ක්‍රීඩකයින්ය. ඒවාට අපි පලි නැත.

ඉතින් ඔබත් මමත් කැපවී දිවි පරදුවට තබා රකින්නට සදනා රටේ ආර්ථිකයේ ප්‍රතිඵල විඳින්නේ එවැනි දූශකයෝ නම්, මේ කැපවීමේ ඵලය කිම?