හින්දු ත‍්‍රිමුර්තිය යනු බ‍්‍රහ්මා, විශ්ණු සහ ශිව යන ශක්තීන් තුනයි. බ‍්‍රහ්මා ලොව ඇති දේ නිර්මාණය කරනා අතර විශ්ණු විසින් විවිධ අවස්ථා වල එය රැුකගන්නට උපකාරී වන ශක්තිය වෙයි. නමුත් ශිව යනු විනාශයයි. යලිත් අළුත් දෙයක් ලොවෙහි ඇතිවන්නට ශිව විසින් පැරණි දේ නැති කර දමයි. මෙය හින්දු විශ්වාසයට අනුව පමණක් නොව ලොව ඇති පොදු සත්‍යතාවයන්ගේද දක්නට ලැබෙන්නකි. බැට් මෑන් කතාවේ එන ජෝකර් Agent of destruction වන්නේ මේ නිසාවෙනි. තැනක ඔහු පවසන්නේ “I love to see the world burns” යනුවෙයි. කුඩා කල පටන් මා ආශා කලේ මේ කියනා ස්ථාවර යැයි සම්මත දේවල් වල විනාශය දැකීමටය. පසුගිය ජනාධිපතිවරණයේදී අප්පච්චිගේ අධිරාජ්‍යය බිඳවැටෙනු දැක මා වින්දේ කුරිරු සතුටකි. එදා පත්වූ යහ පාලන රජයේ බිඳවැටීම එන තෙක් මා බලා සිටියේ තවත් විනාශයක මුල දකින්නට ඇති ආසාවෙනි. ඒ ආශාව දැන් ඉටුවී හමාරය.

ශ‍්‍රී ලංකාව යනු පෙර අතීතයේ සිටම ඒකාධිපති පාලනයක් නොහොත් රාජපාලනයකට හුරු වූ රටක් බව ඉතිහාසය දන්නා ඕනැම කෙනෙක්ට තේරුම් ගත හැක. එවැනි රටකට සුද්දා ට‍්‍රයි කලේ ස්වයං පාලනයක් ලබා දෙන්නටය. එයට කුපිත වූ අප නැවතත් එකෙක්ගේ යටතේ පාලනය වෙන්නට ගත් ඒ තීරණය අදටත් එසේමය. අපේ ජාතිය බැටළුවන් මෙන් අදටත් ඉල්ලන්නේ දක්කාගෙන යන පාලකයෙක්ය.

අපේ මිනිස්සු තමන් කරන්නට අවශ්‍යය දේ කියන නායකයෙක්ට කැමතිය. කරන්නට අවශ්‍යය දේ කරලාම දෙන නායකයෙක්ට ඊටත් වඩා කැමතිය. කඬේට ගොස් රුපියල් 10ක් දී පෑනක් අරන් එනවාට වඩා, කෙනෙක් කඬේට ගොස් ගෙදරයටම පෑනක් ගෙනත් දුන්නොත් රුපියල් 5ක් ඌ හොරකම් කලාටත් කමක් නැත. ඊටත් වඩා යම් දිනක ඔහුගේ හොරකම අසු වූ පසු, “මම උඹලාගෙන් හොරකම් කරන්නේ උඹලා අපේ එකක්නේ බං” යැයි කිව්වාම තවත් අගේය. යහ පාලනය ආවේත් මේ හොරකම් අල්ලන්නටය. එහෙත් හොරකමේ රස දැනෙන්නට දැනෙන්නට ඔවුනුත් එයටම ඇබ්බැහි විය. නමුත් උන් හොරකම මාට්ටු වුණාටවත් එය පිලිගත්තේ නැත. එය ජනතාවගේ හිතට ඇල්ලූවේ නැත.

යහ පාලනය සහජීවනය ගෙන එන්නට ට‍්‍රයි කලේය. සුළු ජාතීන්ට වැඩි අවධානයක් දුන්නේය. නමුත් ඔවුන් අමතක කලේ තවමත් මේ රටේ 80%ක් පමණ ජනයා සිංහල බෞද්ධ ජනතාව යන වගය. මහා ජාතිය අමතක කර සුළු පිරිසට සලකන්නට යන ඕනෑම කුවේණියකට වන්නේ අවසානයේ වනගත වීමටය. අප්පච්චි යුද්ධය දිනා ඒ නාමයෙන් බලය අනිසි ලෙස භාවිතා කලේය. යහ පාලනය වරද්දා ගත්තේ ඒ දිනූ යුද්ධයේ සහකරුවන්ට නිසි අගය නොදී යුද්ධය ඇති කල උන්ට සැප දීමට යාමයි. අපිට අපේ එකාලා සමග මරාගෙන වුවත් එකට වාසය කල හැක. එහෙත් පිට මිනිහා සමග සාමදානයේ දේවල් බුක්ති විඳිය නොහැක.

මෙවර අප්පච්චිගේ පොහොට්ටුව පිපුණේ එහි ඇති අලගෙඩියකට නොව අනෙක් අය විසින් ඔවුන්ම කපා ගත් වලවල් නිසාය. “With great power, comes great responsibilities” යැයි කියන්නාක් මෙන් යහ පාලනයට ඒ විශාල බලය හසුරවාගත නොහැකි විය. අප්පච්චි ඒ අතින් පෙර සිංහල රජෙක් මෙන් බලය භාවිතා කලේය. මෙවර ඡන්දයේදී හරිම තැනට ඔහු පහර දුන්නේය. ප‍්‍රධාන පක්‍ෂ දෙකක් එකිනෙකාගේ වැරදි පෙන්නන කල ඔහු කිසිත් නොකියා තමාගේ සිංහල බෞද්ධ ශක්තිය වැඩි කරගත්තේය.

ඇත්ත කතාව පටන් ගන්නේ දැන්ය. ඔබ පොහොට්ටුවේ පාක්‍ෂිකයෙක් විය හැක, ඔබ අලියෙක්ද විය හැක. එහෙත් අවසානයේ වැදගත් වන්නේ ඔබ කවුරුන්ද? යන්නයි. කුමන පක්‍ෂයක් ආවත් ඇමති මණ්ඩලයේ සිටින අය තමන්ගේ ගේම මොළයෙන් කරගෙන යයි. ව්‍යාපාර ලෝකයේ බලවත්තු මොන ආණ්ඩුව ආවත් තමන්ගේ උපකාර ඔවුන් අපේක්‍ෂා කරන නිසා කොන්ද කෙලින් තබාගෙන ඔවුන්ගේ යමකට අවධානය යොමු කරයි. ඒත් බහුතරයක් ජනයා ආණ්ඩුවක් විසින් සියළු ප‍්‍රශ්ණ විසඳන තුරු කට ඇරගෙන බලා සිටියි. තවමත් ඒ හිත් වල ඇත්තේ දූපත් මානසිකත්වය සහ වහල්භාවයේ ලක්‍ෂණයි.

මේ ලොව සුන්දර තැනක් නොවන බව මුලින්ම වටහාගන යුතුය. හුස්ම ගැනීමේදී පවා ඇත්තේ පෙර කී ගේමම ය. රටේ අනේකවත් පාලන මධ්‍යස්ථාන තිබියදීත් ප‍්‍රවෘත්ති වල පවා රටේ වැදගත්ම ඡන්ද මධ්‍යස්ථාන ලෙස හඳුන්වන්නේ කොළඹ සහ නුවරයි. කවුරුන් මැතිවරණ දින්නත් රට පාලනය වන්නේ එකී කොළඹ සිටින පිරිසකගේ වුවමනාවටයි. එදා අප්පච්චි නාමල්, යෝශිත සහ ගෝඨා ලවා තමන්ගේ බලය ලබා ගන්නේද මෙකී කොළඹ පවුල් වල සහයෝගයෙනි. අප්පච්චි අවසානයේ පරාජය කරන්නේද මෙකී කොළඹ පවුල් සංස්ථාවයි. රටේ බහුතරයක් ජනයා සේවය කරන ආයතන වල අයිතිකරුවන් ද මෙකී කොළඹ ජනතාවමයි. කෙටියෙන් කිව්වොත්, රටක යුද්ධයක්, අරගලයක්, සංවර්ධනයක් හා සෑම දෙයකම නිර්මාතෘවරු මෙකී සමාජ පද්ධතියයි. ජනතා විමුක්ති පෙරමුණ එදා සිටම කෑ ගැසුවේ සහ පෙන්නන්නට උත්සාහ කලේ මෙකී සැබෑ සතුරාවමයි.

දිනක් කොල්ලූපිටියේ ගාලූ පාර දිගේ මාත් මිතුරෙකුත් දිවා ආහාරය නිම වී ඇවිදන් එන අතර ඔහු මා හට පැවසූ දෙයක් මගේ මතකයට නැගෙයි.

“බලපං මේ බිල්ඩින් ගොඩ. මේ හැම එකක්ම ඇතුලේ හිර වෙලා දුක් විඳින්නේ ගම් වලින් ආපු මිනිස්සු. ඒකයි අවුරුදු කාලෙට මේ පාරවල් වල නිදහසේ යන්න පුළුවන්. මේ උගුලට අහු වෙලා හැම එකාම බලන්නේ සැප විඳින පන්තියට පැන ගන්න. උන්ට තේරෙන්නේ නෑ බං මේ උගුල හදලා තියෙන්නේම මේක මත්තේම දුවන්න කියලා. පාඩුවේ ගමකට වෙලා නිදහසේ හිටපු මිනිහෙක් කෝච්චියක නැගලා කොළඹ ආවාම ජොබ් එකක් කරලා සල්ලි හොයන්න, ඌගේ ජීවිතේ නැති වෙන හැම දෙයක්ම එකම පාරකින් හොයාගන්න පුළුවන්. වැඩ ඉවර වෙලා දුක නිවන්න බාර් ඕන තරම්. ඉක්මනින් සල්ලි හොයන්න සූදු පොලවල් ඕන තරම්, සල්ලි වියදම් කරන්න එක එක ජාතියේ බඩු තියෙනවා. අන්තිමට කිසි දෙයක් නැත්තම් ගෑණියෙක් එක්ක ඉන්න අඩියෙන් අඩිය ස්පා තියෙනවා. සේරම විඳලා ලෙඩ හැදුනාමත් බෙහෙත් ගන්න ඉස්පිරිතාල එමටයි. මෙහේ එන එවුන් පවු බං. ලස්සනම දේ කියන්නේ ඔය සේරම කරලා උගුලේ හිර වෙලා පරාද වෙන එවුන්ට අර උන්ව මෙහාට ගෙනත් දාපු කෝච්චියම තියෙනවා නගරේ අයිනකින් ජීවිතේ ඉවර කරගන්න.”

අද සමාජයේ තත්වය මනින්නේ රැකියාවෙන්ය. ඔබට ඇති මුදල්, රැුකියාවේ තැන සහ සමාජයට පෙනෙන්නට ඔබ ඉන්නා විදිහෙන් ඔබගේ තැන නිර්මාණය වනු ඇත. ඔබේ ගුණාංග, ඔබේ දක්‍ෂතා සහ ඔබේ හැකියාවන් වලට මිලක් නියම කරන්නට බැරි නම්, ඔබ මේ සමාජයේ තැනක් නැති පුද්ගලයෙකු වනු ඇත. අප්පච්චි වේවා, UNP වේවා මේ හැම දෙනාගේම බලාපොරොත්තුව ඔබ සදාකල්ම මේ උගුලේ හිරවී සිටිනවා දැකීමටය. දේශපාලනයට අවශ්‍ය ආකාරයට ඔබ නටන්ටන් ඔබට ඔබේ කියා කිසිම සතුටක්, බලයක් නැතිනම් පමණි. ඒ සතුට සහ බලය ඔබට නොලැබෙන තරමට මේ සියළු දෙනාම කැමතිය. දේශපාලනය කල සියල්ලෝම හෙටත් ඔවුන්ගේ සැප ජීවිතය ගෙන යති. සති අන්තයේ උන්ට සැප විඳින්නට ජන්දය දාන්න පැමිණි එකා හෙට පාන්දරට නැවත කොළඹ බලා පැමිණිය යුතුය. නැත්තම් කොළඹ සිටින සමාගම් හිමිකරු නැවත ඔහු මෙහි නොපැමිණියාට කමක් නැති ලෙස පවසනු ඇත.

දැන් ජන්දය අවසන්ය. පිරිසක් සතුටින්ය, පිරිසක් නැවත බලයට ඒමට පොරකනවා ඇත. නැවත තවත් යුගයක් බිහිව ඇත. ඒ යුගයේද රජකරන්නේ මා පැවසූ ඒ සිස්ටම් එකේ නීතියයි. මේ යුගයද නැතිවී යනු ඇත. එහෙත් මගේ සිතේ නලියන ආශාවක් ඇත. සිස්ටම් එක විනාශ වී යන දවසක මා අවංකවම සතුටු වනු ඇත.