ලොකු මෑන් කිව්ව ගමන් ඔලූවට එන්නේ පාතාලේ නම ගිය වැඩකාරයෙක්ගේ මූණක් නම් අප්පච්චි තියපු නම හරියටම හරි. ලොකු මෑන් කියන්නේ අපේ ගෙදරට ගෙවල් ගාණකට එහා ගෙදරක හැදුණු බොහොම පෘශ්ඨිමත් කෙනෙක්. බොහොම ගාම්භීර තාලෙට හැදුණු වැඩුණු ලොකු මෑන්ට ගමේ සේරම අය නම් කිව්වේ නැට්ට කොටා කියලා. වල් බල්ලන්ගේ උණත් නැට්ට කැපුවාම ලොකු වෙනවා කියලා හොයාගත්ත එකා හිටියා නම් ලොකු මෑන් ඌව මරනවා ෂුවර්. ලොකු මෑන්ව මුලින්ම අපි දකිනකොට මීට අවුරුදු 3කට විතර කලින් වෙන්න ඇති.
ලතා කරලියට එන්නේ මීට අවුරුදු 2කට විතර කලින්. ලතා හැදුනේ වැඩුනේ අපේ ගෙවල් ගාව පාරේ. අපේ ගෙදර බල්ලෝ දෙන්නා මැරුණාට පස්සේ ලතාටත් අපේ ගේට්ටුවෙන් ඇතුලට එන්න පාස් එකක් ලැබුණා. ලතා ලොකු වෙලා වටේ සංචාරය කරන්න ගත්තාට පස්සේ තමයි ලොකු මෑන්ව මුලින්ම හම්බු වෙලා තියෙන්නේ.

ලොකු මෑන්ගේ ගෙදර අය ලතාගෙයි ලොකු මෑන්ගෙයි සම්බන්දෙට සෑහෙණ විරුද්ධකම් පෑවා. හැබැයි හැම දේකටම වඩා ආදරය ලොකුයි කියන එක ඔප්පු කරලා ලොකු මෑන් ලතා වෙනුවෙන් ඒ හැදුණ ගෙදරින් පැනලා ආවා. ලතා එක්කම අපේ වත්තට හෙමින් හෙමින් ආපු මේ සද්දන්ත නැට්ට කොට බල්ලාට අප්පච්චි කෑම දෙන්නත් පටන් ගත්තා. කොහොමින් කොහොම හරි මේ ජෝඩුව අපේ ගේට්ටුව අවට ස්ථීර පදිංචිකාරයින් වුණා.

ලොකු මෑන් කවදාවත් මිනිස්සු විශ්වාස නොකල චරිතයක්. පොඩි කාලේ නැට්ට කපපු අත්දැකීම නිසාද මන්දා කවදාවත් කෙනෙක්ට ලං වෙන්නවත් දුන්නේ නැහැ. අප්පච්චිගෙයි ලොකු මෑන්ගෙයි බල අරගලයත් දවස් ගාණක් පැවතුන එකක්. අප්පච්චිට ගොරවන එක නවත්තන කල්ම ඌට ජල ප්‍රහාර සහ කොසු ප්‍රහාර එල්ල වුණා. යන්තම් අප්පච්චී දැක්කාම උගේ කොට නැට්ට වනන ගානට දෙන්නා සාමදාන වුණා. හැබැයි කවදාවත් ඌ මටයි අම්මාටයි නම් ගොරවන්න අමතක කලේ නැහැ.

ටික කාලයක් ගත වෙද්දී ලොකු මෑන්ගේ මුලදි තිබ්බ තේජස් පෙනුම අඩු වුණා. වලි සහ ගුටි වලින් පදම් වුණ පෙනුමක් ආව ලොකු මෑන්ගේ පිරිපුන් ශරීරයත් එක්ක පාතාලේ බල්ලෙක් ගාණට පිලිගැනීමක් ඌට තිබුණා. මේ අතරදී තමයි ලතා අසනීප වුණේ. එදා වත්තේ වලක් හාරලා ලතාව වල දැම්මාට පස්සේ ලොකු මෑන් ඒ පලාතේ අද වෙනකම් පස් පෑගුවේ නැහැ. කාත් කවුරුවත් නැති ලොකු මෑන් අපේ ගෙදරට තවත් ලං වුණේ ඔන්න ඔය විදිහටයි.

කාලයක් ගෙවිලා ගියා. ලොකු මෑන්ගේ මූණේ කැළැල් ටිකත් දවසින් දවස වැඩි වුණා මිස අඩු වුණේ නැහැ. හැබැයි මුළු ඒරියා එකේම ලොකු මෑන්ට ගහන්න බල්ලෙක් හිටියෙත් නැහැ. පට්ට පාලූවේ හිටපු ලොකු මෑන්ගේ එකම මනුස්ස සම්බන්ධකම තිබ්බේ අප්පච්චි එක්ක විතරයි. අප්පච්චි යන එන හැම තැනම බොඩි ගාඩ් වගේ පස්සෙන් යන්න ලොකු මෑන් වග බලා ගත්තා. යාළුවෝ නැති අප්ච්චිටත් නිතරම ලඟ හිටියේ ලොකු මෑන් විතරයි.

පොඩි මෑන් කියන්නේ එහා පාරේ කව්දෝ දාලා ගිය බලූ පැටියෙක්. කන්න දෙයක් නැතිව අපේ වත්ත පිටිපස්ස පාරෙන් ආපු පුංචි බල්ලාව අප්පච්චි ගෙදරට ගත්තා. ඉස්සරහා ලොකු මෑන් රජ කරද්දි පිටිපස්සේ රජ කලේ පොඩි මෑන්. ලොකු මෑන් පොඩි මෑන්ව ගණන් ගත්තේ නැහැ. හැබැයි අප්පච්චි ලොකු මෑන්ට නිදාගන්න දාන ගෝණිය පොඩි මෑන්ට දුන්න දවසේ ඉඳලා නම් ලොකු මෑන් පොඩි මෑන්ට වෛර බැන්දා.
ලොකු මෑන් දවසින් දවස වයසට යද්දි පොඩි මෑන් දවසින් දවස ශක්තිමත් වුණා. වෙනදා ලොකු මෑන් සැපෙන් නිදාගනිපු තැන් පොඩි මෑන් අල්ලා ගනිද්දී ෆයිට් කරන්න තරම් ශක්තියක් ලොකු මෑන්ට තිබුණේ නැහැ. වටේ ඇවිදන් යන්න ශක්තිය නැති ලොකු මෑන්ගෙන් අප්පච්චිගේ බොඩිගාඩ් පෝස්ට් එක පොඩි මෑන් උදුර ගනිද්දී ලොකු මෑන් කලේ රෑ එළි වෙනකම් ඒකේ දුකට කෑ ගහපු එක.

දින, සති, මාස ගෙවිලා යද්දි ලොකු මෑන් එක්තැන් වුණා. අන්තිම කාලේ කට ඇතුලට දාපු වතුර ටික විතරයි ලොකු මෑන්ගේ බඩගින්නට තිබුණේ. පණ අදින ලොකු මෑන් ගාවට එන්න ඉඩ දුන්නේත් අප්පච්චිට විතරයි. පණ යන අන්තිම මොහොතේ අමාරුවෙන් ලොකු මෑන් පැත්තට හැරිලා අප්පච්චිගේ මූණ දිහා බලලා ජීවිතේ පලවෙනි පාරට කකුල ලෙවකෑවා. අප්පච්චිට හොඳම යාළුවෝ හිටියේ නැති වුණාට ලොකු මෑන්ට හිටපු එකම යාළුවා අප්පච්චි කියන එක මට එදා තේරුණා…