ඔබ දෙවියන් විශ්වාස කරනවාද?
ඔව් මම දෙවියන් විශ්වාස කරනවා.
ඔබ දෙවියන් සිටිනවා යැයි විශ්වාස කරනවාද?
නැහැ. මම දෙවියන් ඇති කියලා විශ්වාස කරන්නේ නැහැ.
නැති කෙනෙක් ගෙන ඔබ විශ්වාස කරන්නේ කෙසේද?
මේ ප්‍රශ්ණ ටිකට මම මීට වඩා වෙනස් විදිහකට උත්තර දෙන්න තිබුණා මීට සති කිහිපයට කලින්. නමුත් දැන් මම දෙන පිළිතුරු තරමක වෙනස් එකක්. ඊට හේතුව තමයි ජීවිතේ අත්දැකීම් එක්ක අපි වෙනස් වෙනවා කියන එක.
කතාව පටන් ගන්නේ මීට අවුරුදු ගාණකට පෙර. ඒ කාලේ අපි බොහෝම දැඩි මතදාරීන්. අද ඔබ දකින බහුතරයක් රැඩිකල් අය වගේම තමයි. අපි අන්‍යාගමිකයි. කිසිම දේකට අපි බය නැහැ. ඊට වසර කිහිපයට පස්සේ මම බෞද්ධ දර්ශණය විශ්වාස කරන්න පටන් ගන්නවා, කලින් කිව්වා වගේම ජීවිත අත්දැකීම් එක්ක. ඊට අවුරුදු ගණනාවකට පස්සේ අද මම කියනවා මම දෙවියෝ විශ්වාස කරනවා කියලා. හැබැයි දෙවියෝ ඉන්නවා කියලා විශ්වාස කරන්නේ නැහැලූ. මොන කුණුහරුපයක්ද මේක?
දැකලා තියෙනවාද අද බහුතරයක් ඉන්න නව පරපුරේ අය? අර නිරාලා සෙට් එක. 2000න් පස්සේ ඉපදුනු බහුතරයක් එවුන් මේ කුලකයට අයිති වෙනවා. අහසේ දෙවියෝ නැහැ කියන මේ සෙට් එක කිසිම දේකට බය නැහැ. ලැජ්ජාත් නැහැ. කොටින්ම කිව්වොත් limitless. ඉතින් මේ අය ඒ වගේ කිසිම guideline එකක් නැතිව ජීවත් වෙන්න ගන්නවා. මම හැම වෙලේම කියන දෙයක් තමයි “Know the rules before you break the rules” කියලා. හැබැයි මේ අය දැන් අපි ඉස්සර වගේ බිල්ලන්ට, දෙවියන්ට, බුදුන්ට තියා තමන්ගේ නමට තියෙන ලැජ්ජාවටවත් control නැහැ. ඉස්සර කියනවා වගේ හිරි ඔතප් නැහැ.
මතකද අපේ ආච්චිලා, සීයලා සහ අපේ අම්මලාගේ පරපුරේ අය අදටත් පවු කරන්න බයයි, වැරදි දේවල් කරන්න බයයි. හේතුව තමයි එයාලා තමන්ට නොපෙනෙන දෙවියන්ට සෑහෙණ බයක් තිබුණා. හරියට අද තියෙන CCTV වලට තියෙන බය වගේ. අපි වැරැද්දක් කරනවා නම් කවුරු නොදැක්කත් දෙවියෝ බලන් ඉන්නවා කියන feeling එක එයාලාට තිබුණා. මෙන්න මේ හේතුව නිසා බහුතරයක් දෙනා වැරදි කලේ නැහැ. සමාජය ගෙන තේරුම් ගත්ත, තමන් ගෙන සංයමයක් තිබුණු සහ තමන්ගේ self conscious එකක් තියෙන කිහිප දෙනෙක් ආගමට වඩා විද්‍යාව ගෙන විශ්වාස කරා.
අද වෙලා තියෙන්නේ මොකක්ද? බහුතරයක් මෝඩයෝ නිරාගමික වෙලා. නිදහස් චින්තකයෝ වෙලා. මේ සෙට් එකට self control එකක් නැහැ. self conscious එකක් නැහැ. ඉතිං වෙන්නේ විනාසයක්. බොහෝම ටික දෙනෙක් විතරක් තමන්ගේ කන්ට්‍රෝල් එක හදාගෙන ඊට පස්සේ හරි මග යනවා. අනිත් උන් ඒ අයව තමන්ගේ වරිගෙටම දාගෙන උන්ගේ නමත් කනවා.
ඇයි මම දැන් දෙවියෝ විශ්වාස කරනවා කිව්වේ?. මම සාමාන්‍යයෙන් කන්ට්‍රෝල් එකේ ඉන්න කෙනෙක්. හැබැයි මෑතකදී මම physically වැටුනා. ඒ වැටුණු නිසා මගේ මානසිකත්වය බිමටම වැටුණා. ඒ වෙලාවේ මගේ ළඟම මිත්‍රයෙක් මට කිව්වා කතාවක්.
“පොඩ්ඩක් මේ වෙලාවේ උඹ හිතපන් උඹව බලාගන්න කෙනෙක් ඉන්නවා කියලා. උඹට වඩා බලවත්, උඹ ගෙන බලාගන්න කෙනෙක්. දෙවියෝ නෙමෙයි nature එක හරි කියලා හිතපං”
මේ දේ මට සෑහෙණ උදව් වුණා ඒ අමාරු කාලේ survive වෙන්න. මම දන්නවා ඒ feeling එකත් මගේ හිතින්ම හදලා දුන්න තවත් සිතුවිල්ලක් විතරයි කියලා. හැබැයි ඒ මොහොතේ මම හිටපු තත්වේ අනුව එහෙම මගේ ගෙන බලාගෙන, මාව බලාගන්න මොකක් හරි බලයක් තියෙනවා කියන feeling එක මට මාර හයියක් වුණා ගොඩ එන්න.
බහුතරයක් පැරණි ආගම් සහ සංස්කෘතීන් වල තියෙනවා මේ දෙවියන් කියන සංකල්පය. බහුතරයක් දේවල් වල මේ බලය ගෙන කියන්නේ තුනේ සංකේත වලින්. උදාහරණයක් විදිහට පියාණන්, පුත්‍රයාණන් සහ ශද්ධ වූ ආත්මය වගේ. නැත්තම් හින්දු ආගමේ ත්‍රිමුර්තිය වගේ. එහෙමත් නැත්නම් Zeus, Poseidon සහ Hades කියමු. තේරෙන්නේම නැත්නම් අපි බුද්ධ, ධම්ම සංඝ කියලා තෙරුවන් විදිහට කියමු. (මේක ගෙන වෙනම ගැඹුරින් කතා කරමු පස්සේ වෙලාවක).
මේ හැම දෙයක්ම පොදු දේවලි තියෙනවා. symbol විදිහට වුණත් මේවා භාවිතා කරන්න ඇත්තේ බහුතරයක් පිරිස control එකේ තියන්න වගේම අර තමන් ගෙන ස්වයං පාලනයක් ඇති වෙලා conscious වුණ අයට ඇත්ත හොයාගන්න උදව්වක් වෙන්න කියලායි මට දැන් තේරෙන්නේ.
ඒ නිසා මම වුණත් අද කියනවා. දෙවියන් නැතුව ඇති. ඒත් මම දෙවියන් විශ්වාස කරනවා. ඒක ලෝකයට හොඳක් වගේම මටත් හයියක් නිසා.