“ ඇයි ඔයා මට ආදරේ? ”

මාගේ පැරණි පෙම්වතියන් මාගෙන නිරන්තරයෙන් ඇසූ ප්‍රශ්ණයකි මේ. ඒ හැම වාරෙකදීම මා ඔවුන්ට විවිධ උත්තර දූන් අයුරු මාගේ මතකයේ ඇත. ඔවුන් එකිනෙකාට මා පෙම් බැඳි හේතු කාරණා විවිධ වූ අතර පසු කාලයකදී ඒවා දෙස මා කල්පනා කරද්දී ඒ සියළු හේතු වල කිසිම විශ්වාසනීයත්වයක් නොතිබූ බව මට වැටහෙන්නට විය. මෑත කාලයේ මට ඉතාමත් කිට්ටුවෙන් ඇසුරු කරන්නට ලැබුණු නිසා වික්ටර් රත්නායක මහතාගේ පැරණි ගීත කිහිපයක් මට රසවිඳින්නට අවස්ථාව හිමි වූ අතර එයින් එක් ගීතයක් වන “ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා” ගීතය මාගේ අවධානයට යොමු විය.

මෙම ගීතයේ හරය, එහි පද රචනය කල බණ්ඩාර විජේතුංග මහතාගේ දැක්ම ද, නැතිනම් එය ගායනයේ යෙදූණු වික්ටර් රත්නායක මහතාගේ හෝ අමරදේව මහතාගේ දැක්මද, යන වග මා නොදනියි. එහෙත් මෙහි කියැවෙන දෙබස ඉතාමත් ගැඹුරු හා රසවත් එකකි. මුලින්ම අමරදේව මහතා විසින් ගීතය මෙසේ ආරම්භ කරයි.

“ඇයගේ ඇකයෙහි ඔබ හිස රඳවා….. සැනහුණු මොහොතක ඔබේම දෙනෙතින්,
මා ඔබ දූටුවා ඇයට නොවේ….. ඔබට පමණි ඔබ ආදරේ….”

ඇයගේ උකුලේ ඔබ හිස තබාගෙන ඔබ පෙම්වතිය සමග සිටිනා විට” ඇය ඔබ දෙසට නැඹුරු වී ඔබ දෙස ආදරයෙන් බලා සිටින වාර අනන්තවත් ඔබට මතකයේ ඇත (ඔබට පෙම්වතියක් සිටියා නම් පමණක්). එවැනි මොහොතක් කොතරම් ප්‍රේමණීය ද? ඒ සුන්දර මොහොතේ ඔබ දෙදෙනාගේ ඇස් එකිනෙකට ගැටෙන විට දැනෙන හැඟීම කෙතරම් සුන්දර ද? එහෙත් මේ සියල්ලටම යටින් කෙනෙක් ඒ දෙස බලා සිටියි. ඔහු ඒ මොහොත ගෙන ඔබ මැවූ සුන්දර රූපය දකින්නේ වෙනත් කෝණයකින්ය. ඔබ පෙම්වතිය සමග එසේ සිටිනා මොහොතේ ඔහු ඇයගේ ඇස් වලින් දකින්නේ ඔබගේ චායාවයි. එසේත් නැත්නම් ඔබ ඇය තුලින් දකින්නේ ඔබවමයි. ඔබත් ඇයත් තනිව සිටින මොහොතක ඔබව එසේ දකින්නට හැක්කේ කාටද? ඔබේම හිතටයි. ආදරය කොතරම් ආත්මාර්ථකාමීද? මේ සියළු හැඟීම් වල මූලික ස්ථානය වූ සිත ඔබට කතා කර පවසන්නේ ඔබ පෙම් කරන්නේ ඒ තරුණියට නොව ඔබටම බවයි. ඔබ එය පිළිගන්නවාද?
නැත…

“ වසන්ත දෙකොපුල නිසි වැරු තොල් මල…. දසැඟිලි තුඩු අග පිබිදූණු රණහස,
ඇයට ආදරෙයි ආදරෙයි මම….. ඇයට ආදරෙයි ආදරෙයි…

මෙන්න ඔබේ තර්කය. ඔබ ඇයට ආදරේ බව පවසන්නේ ඇයගේ සුන්දර කම්මුල් මත ඇති ලස්සන දෙතොල් සහ ඇඟිලි තුඩු අගින් ඇවිස්සුණු පියයුරු වලට යටත්වයි. මෙන්න ඔබේ ආදරය. ඔබ ආදරය කරන්නේ ඇයගේ ඒ දේවල් වලට නම් ඒ දේවල් ගෙන ඔබට ආශාව ඇති බව ඔබට පවසන්නේ ඔබේ සිත නොවේද? අපි සියළු දෙනාගේම විවිධ රසවින්දන ඇත. තරුණියකගේ පියයුරු වල පවා වෙනස්ම වර්ග කිරීම් වලට බෙදා අප රස වින්දනය කරයි. එසේ තමා කැමති සහ අකමැති පියයුරු වර්ග තෝරා දෙන සිතුවිල්ල ඇති කරන්නේ තමාගේ සිතම නොවේද? නමුත්, එකී සිත අප ආදරය කරන්නේ මේ කිසිවකට නොව ඇය තුලින් දකින තමාටම බව පවසද්දී ඒ බව අපි ප්‍රතික්ශේප කරන්නේ ඉහත කී ආකාරයෙනි. හිත තවත් අපට දේවල් පවසයි…

“ ඇගේ සුරත ගෙන පිනි විල්ලූද මත…. ඇයට ඇළුම් බව ඔබ පැවසූ පසු
පෙරලා ඔබ හට පෙම් කරනා බව….. ඇය මුමුණන සඳ ඔබ සිත සුවපත් වේ…”

මාගේ පෙම්වතියන් මා ඔවුනට ආදරේ යැයි පැවසූ පසු ඔවුන්ද මා හට ආදරේ කරනා බව පවසා ඇත. නමුත් සම්බන්ධය තීරණාත්මක අවස්ථා වලට එලැඹෙන විටෙක මා ආදරේ යැයි පැවසුවත් ඇය මදහසක් පා යන විට මගේ සිතේ ඇතිවන්නේ දෙගිඩියාවකි. ඇයත් මා හට පෙම් කරන විට සතුටු වන්නටත්, ඇය එසේ නොකරන විට කැළඹෙන්නටත් මගේ සිත පෙළඹෙන්නේ ඇයි? ඇගේ ආදරය නමැති ප්‍රතිරූපය මා හට නිර්මාණය කර දී ඇත්තේ මාගේ සිත විසින්මයි. අප කෙනෙක්ට ආකර්ශණය වූවාට පසු ඉන් ඉදීරියට ඇති සියළුම දේවල් අපට සාදා දෙන්නේ අපේ හිත විසින්මයි. ඇය ගෙන අපේ හිතේ ඒ ඇතිවන ප්‍රතිරූපය බිෙඳන්නේ කාලයාත් සමග ඇයගේ සැබෑ ස්වරූපය දිස් වන්න පටන් ගන්නා අවස්ථාවේදීයි. එවිට අපට ඇතිවන දූකට අපි පවසන්නේ අන් පුද්ගලයාගේ වෙනස්වීම යනුවෙන් වුවත්, සැබෑ වශයෙන්ම අපේ සිත අපිවම රැවටීමේ දූක අපට දැනී ඇත. එහිදී අපි දූක් වන්නේ අන් අයගේ වෙනස් වීම නොව, අපගේ සිත අපවම රැවටීම ගෙන ඇතිවූ දූකයි. එසේ නම්, ඇය අපට ආදරේ යැයි පෙරලා පැවසූ පසු සතුටු වන්නේ ඇයගෙන් අපි අපිවම දකින නිසා නොවේද?


මේ සියල්ල පැහැදිලි කලත් ඔබ එය පිළිගන්නේ නැත. මක් නිසාද යත් ආදරය යනු අමුතුම මායාවකි. එය තර්කයෙන් තේරුම් ගත නොහැකි බව ඔබ දනියි. ආදරය අසුවන්නේ නැති නිර්වචනයක් නොමැති දෙයකි. ආදරය ගෙන තම සිත දන්නා රෙද්දක් නැත. ආදරේ පූජණීය දෙයකි. එය ඇතිවන්නේ නිවැරදි මොහොතේදී නිවැරදි පුද්ගලයා සමගින් පමණි. ඇතැම් විට මේ පිරිමි ආදරේ විය හැක. කාන්තාව තමාගේ සියළු දේ කැප කර ආදරය කරයි. ඇයට තම ලෝකයම අනෙකා වෙනුවෙන් කැප කිරීමට පු¿වන. මේ කිසි දිනෙක පිළිනොගන්නා සත්‍ය වෙනුවෙන් තමා දිගින් දිගටම සටන් කරයි.

“ඇයට පමණි මම ආදරේ…..”
එහෙත් තම සිත ද, පුන පුනා පවසන්නේ එකම දෙයකි….
“ඔබට පමණි ඔබ ආදරේ…….’

මින් පසු කිසියම් තරුණියක් මා ඇයට කැමති කාරණාව විමසුවහොත් දැන් මට දෙන්නට පිළිතුරක් ඇත. ඒ මා මට ආදරේ නිසා ඇය තුලින් මා දකින බවයි. තව අවුරුදූ ගණනාවකට වත් අපේ අම්මාට ලේලියක් නම් ලැබෙන්නේ නැති බව මට විශ්වාසය.