අපි හැම වෙලාවේම අපි නිවැරදියි කියලා හිතන්න නරකයිනේ. ඒකමනේ මේ දැන් ඉන්න අයටත් වුණේ. ඒ නිසා මම ඊයේ බැලුවා ඇත්තටම Eranda Ginige, Mahinda Pathirana, IRAJ කියන දේත් ඇත්තක් තියෙනවා ද කියලා. මේ නිසාම ඊයේ මම ගෝල්ෆේස් එකටත් ගියා.
එයාලා කියන මුල්ම දේ වුණේ සෙනග මිලියනයක් හිටියේ නැහැ කියන එක.
ඒක ඇත්ත. අර මැයි රැළි සහ දේශපාලන රැළි වගේ එක පාර මිනිස්සු හිටියේ නැහැ. උදේ ඉඳලා මේ දැන් වෙනකම් එතැන ඉන්න රැට්ටා වගේ අය හරි අඩුවෙනු හිටියේ. හැබැයි පැය භාගයක් හරි පුළුවන් වෙලාවේ ඇවිත් යන්න නිතරම මිනිස්සු හිටියා. හරියට ෂිෆ්ට් එකට වගේ උදේ සෙට් එක යද්දි වැඩ භාරගන්න හවස අය ඇවිත් හිටියා. හැම මොහොතේම 10,000ක් වගේ පිරිසක් එතැන හිටියා. වැදගත්ම දේ තමයි මේ කිසි කෙනෙක් මොනවත් ලැඛෙනවාට ආපු අය නෙමෙයි. කිසිම බලපෑමකට ආපු අයත් නෙමෙයි. ස්ව කැමැත්තෙන් ආපු අය. මේක ප්‍රශ්ණ කරන මහින්ද පතිරණ වගේ අයට පුරුදු රැළි වලට බත් පැකට් එකයි ගල් බෝතලයයි දීලා මිනිස්සු අරන් එන සංකල්පය නිසා. එක පාර මිලියනයක් නොදැක්කාට හැම මොහොතේම රැදෙන මිනිස්සු පිරිස එයාලාට පෙනුනේ නැහැ.
තවත් තිබුණ චෝදනාවක් තමයි මෙතැන ආතල් එකක් කියන එක සහ සමහරු අරගලය ඉවර වෙලා තමන්ගේ සැපවත් ජීවිත වලට නැවත යද්දී අනිත් අය දුක් විඳිනවා කියන එක.
මෙතැනට ආපු සමහර මගේ යාළුවෝ පවා මීට කළින් පාරටවත් බැහැපු අය නෙමෙයි. එයාලා ගෝල්ෆේස් එකේ ඉස්සෝ වඩේවත් කාලා නැති වෙන්න පුළුවන්. හැබැයි මම බලාපොරොත්තු වෙන්නෙත් නැහැ එයාලා අරගලයට ඇවිත් ඉවර වෙලා මෙතැන හැම කෙනාම වගේ දෙන දෙයක් කාලා ඉන්න ඕනේ කියන එක.ඒක තමන්ගේ ජීවන රටාව සහ ආදායම අනුව කැමති දෙයක් කරන්න පුළුවන් නිදහස. ඒ වගේ මිනිස්සු මෙතැනට එන්නේ කන්න බොන්න නැතිව නෙමෙයි. සමහර වෙලාවට උන්ට ජෙනරේටර් පවා තියෙනවා. හැබැයි උන් ආවේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් පුළුවන් විදිහට තමන්ගේ සහයෝගය දක්වන්න. අන්න ඒක මම අගය කරනවා.
අරගලය සැණකෙළියක් වෙන එකට මමත් කැමති නැහැ. එදා ඉනිඩිපෙන්ඩන්ස් එකේ තිබ්බ උද්ගෝෂණෙන් පස්සේ මමත් පොඩ්ඩක් සසල වුණා මොකක්ද යකෝ මේ කියලා. ඊයේ මාත් එක්ක ගෝල්ෆේස් ගිය චරියා වුණත් කිව්වේ,
“අපි ඉස්කෝලේ කාලේ තර්ස්ටන් එකට ගහන්න යද්දිත් මීට වඩා ගැම්මකින්නේ යකෝ ගියේ කියලා.”
ඊයේ ගෝල්ෆේස් එකේ පිරිසක් සින්දු කියනවා. සමහරු ලයිව් යනවා. සමාජ ක්‍රියාකාරීන් එයාලාගේම වෙනම අරගලයක්. තව පොඩි කොල්ලෝ සෙට් එකක් ජනාධිපති ලේකම් කාර්්‍යාලයේ වැටක් උඩ නැගගෙන කෑ ගහනවා. අන්තරේ සෙට් එක පිලිවෙලකට සටන් පාඨ කිය කිය නියමම අරගලයක් කරනවා. තවත් එකෙක් පාර මැද නිදාගෙන උඩ බලාගෙන ඉන්නවා.
අපි එකිනෙකාට වෙනස් මිනිස්සු. මම අරගලේ දැක්කේ ඉස්කෝලේ වළි වලින්. කැම්පස් වල පිකට් වලින්. ලිප්ටන් වටරවුමේ අන්තරේ පාර වහන් හිටපු ඒවයින්. මෙතැන මිනිස්සු තම තමන්ගේ අරගලය කරන්නේ වෙනස් විදිහට. තම තමන්ට දැනෙන විදිහට. උණු උණු මැගී එකක් කන ගමන් එකෙක් හූ කියන්නේ ඌට තේරෙන විදිහට. එකම සටන් පාඨයක් කිය කිය දේශපාලන රැළි වල වගේ පිළිවෙලක් නැතිව අරගල කරන්නේ මේක තමන්ට දැනෙන තැන වෙනස් නිසා කියලයි මම නම් හිතන්නේ. මේක උන්ගේ පීඩනය.
ප්‍රධානතම චෝදනාව උනේ මේ අරගලයට දිශානතියක් නැහැ සහ නායකයෙක් නැහැ කියන එක.
ඇත්ත. එක එකා අරගල කරන්නේ උන්ගේ ලෝක වල. මේක සංවිධානාත්මක ලෙස හසුරවන එකක් නෙමෙයි. එකෙක් තව එකෙක්ගෙන් අහලා එනවාද එනවාද කියලා එකතු වෙලා ආපු එකක්. නායකයෙක් නැති අරගල එක අතකට හොඳයි. නැත්තම් අපි හැමදාම කලේ තව එකෙක්ගේ කීමට නටපු එකනේ. අනික මේ අරගලයෙන් අපි නායකයෙක් පත් කිරීමක් කරන්නේ නැහැනේ.
ඉල්ලන්නේ මේ හොර යක්කු ටිකයි උන්ගේ වටේ ඉන්න උන් ටිකයි අයින් වෙලා අපෙන් හොරා කාපු සල්ලි දීලා යන්න කියලා විතරයි. එතැනින් එහාට මේකට දේශපාලනික විසඳුම්, ආර්ථික විසඳුම් ලබා දෙන්න රටේ ඇති තරම් විශේෂඥයෝ ඉන්නවා. මේ අරගල කරන අපි එන්නේ නැහැ ජනාධිපතිකම ඉල්ලගෙන.
ඇත්තටම ගත්තතොත් මෙහෙම මාසයක් කෑගැහුවත් ගොටාට කූඹි පුකක් තරම්වත් බලපෑමක් නැති වෙන්න පුළුවන්. ඒකමනේ මේ කල් ඇර ඇර මේක දියාරු වෙන්න දෙන්නේ. හැබැයි මෙච්චර ජනතාවකගේ පීඩනයක් නොතේරෙන පාලකයින්ට තවත් කඩේ යනවා නම් එක්කෝ BDSM සීන් එකේ ඉන්න එකෙක් වෙන්න ඕනේ.
ජනතාවගේ පීඩනයට නීතිඥ සංගම් එකතු වුණා. රජයේ සේවකයෝ එකතු වුණා. තවමත් ඉතිරි වෙලා තියෙන්නේ ආරක්ෂක අංශ වල එකතුවීම විතරයි. ඇත්තටම දැනෙන්න දෙයක් කරන්න නම් අර පාර්ලිමේන්තුවේ උන් ටික මුන්ව අයින් කරලා උනුත් අයින් වෙලාම යන්න ඕනේ.
තවත් උන් කියපු දෙයක් තමයි ඇයි ඔයාලා විතරක් මේකට කෑගහන්නේ, අනිත් මිනිස්සු තවමත් අපිත් එක්ක ඉන්නවානේ කියන දේ.
ඔව් අනිවාර්්‍යයෙන්ම ආණ්ඩුවට ලැදි අය ඉන්නවා. තමන්ට කුමක් හෝ වාසියක්, නැත්තම් මොකක්ම හරි සම්බන්ධයක්, එහෙමත් නැතිනම් තමන්ගේ දෙයක් නැති වෙයි කියලා බයක් තියෙන කිසි කෙනෙක් මේකට කට අරින්නේ නැහැ. හොඳට බලන්න තවමත් රාජක්ෂලාට සහ ආණ්ඩුවට පක්ෂව ඉන්න අය කොතනින් හෝ රජයට සම්බන්ධ දේකින් වාසි ලබාගෙන නැද්ද කියලා. සාමාන්‍යය ජනතාව වගේම මේක ප්‍රසිද්ධ අයටත් අදාලයි. ඒක ගැන වැඩිය හිතන්න අවශ්‍යය නැහැ. බත් දෙන කෙනාට නගුට වනන්න හැම බල්ලාටම අයිතියක් තියෙනවා. ඌ තමන්ට ගැහුවත් ඌට කැමති නම් ඒක කරපුවාවේ. මහින්දලා, ගිණිගේ ලා ඉරාජ්ලාත් කරන්නේ ඒකමයි.
අරගලය ලස්සනයි. ඒකෙන් ලොකු බලපෑමක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි හෘදසාක්ෂියට අනුව කොහෙවත් යන හොර පවුලකටයි උන්ගේ වටේ උන්ටයි අපේ අනාගතය නැති කරන්න දෙන්න බැරි නිසායි මම ඒකට යන්නේ. මට කන්න බොන්න තිබුණත් මගේ වටේ ඉන්න උන්ට ඒක නැති වෙද්දී, එහෙම තත්වයක මට ආහ්.. කමක් නෑ කියලා ඉන්න බැරි හින්දායි මම යන්නේ. හැම වෙලාවේම එතැන නැතත්, පුළුවන් හැම වෙලාවේම යන්නේ ඒකයි.
මේ අරගලයට පස්සේ තියෙනවා තවත් අරගල ටිකක්. එකක් ඉවර කරලා ඒවාට බහිමු.
P.S – මේක ඉක්මනට ඉවර වුණොත් හොඳයි. මමත් මුං එක්කම රණ්ඩු වෙලා දැන් ගිණිගේලා, මහින්දලා වගේම දිග හෑළිත් ලියන්න පුරුදු වෙලා. ඉක්මනට පරණ විදිහට යා යුතුයි.