දිනය : ඔක්තෝබර් 14
ස්ථානය : ආරක්ෂක හේතූන් නිසා නොපවසමි
කොල්ලුපිටිය මුහුද අනෙක් මුහුදු වලට වඩා වෙනස්ය. රැළි නගන්නේත් අමුතු රටාවකටය. හමුදා බස් රථය ඇදෙන්නේ ගාලු පාර දිගේ නිසා, ගමන දිගටම මේ මුහුද මා සමග සිටිනවා ඇත.
සියල්ල ආරම්භ වූයේ අහඹුවක් මෙනි. රාත්‍රියේ ආ දුරකථන ඇමතුමෙන් කියැවුණේ අද පී.සී.ආර් පරීකෂණයට පසුව කෙලින්ම නිරෝදානය සඳහා ගමන් කළ යුතු බවයි. දෙවන ලෝක යුද්ධයට මුහුණ දුන් අය පසු කාලයක ඒ ගෙන පවසන්නාක් මෙන් අපටත් අනාගතයේ ලොවම මුහුණ දුන් මේ කාලය ගෙන පවසන්නට හැකිය.
මාගේ බලාපොරත්තුව දිනපතාම සටහන් තැබීමටය. නමුත් අද ආරම්භ වන්නේ පළමුවන දිනය නොවේ. අද නිරෝදානයේ ආරම්භක පෙරහුරුවයි. මෙලෙස දින 14ක් මෙසේ සිටිය යුතුය. කිසියම් වාසනාවකින් පී.සී.ආර් ප්‍රතිඵලය ධනාත්මක නොවුනහොත් නැවතත් පැමිණ තවත් දින 14ක් ස්වයං නිරෝදානය විය හැකිය. ධනාත්මක වුවහොත් මා අයි.ඩී.එච් රෝහලට පැමිණිය යුතුය.
මා සිටිනා ස්ථානයේ කාමරය තුල දෙදෙනෙක් සිටියි. මාගේ දින 14ක බඩියා කෙවින්ය. කෙවිනා දැනුත් උගේ පෙම්වතිය සමග කතා කරයි. ඌ කොරන්ටයින් නිසා අද වැඩිපුර ඌට ආදරය ලැඛෙන සේයාවකි. දකුණු පස ඇත්තේ ක්‍රීම් බනිස් තුනකි. තව ස්වල්ප මොහොතක් මූ ආදරය කරන දෙස බලා මා ක්‍රීම් බනිස් එකක් කන්නෙමි.
මූ ඇඳ මත විවිධ ඉරියව් පාමින් ආලය කරයි. අද කතාවට මා ඇහුම්කන් නොදුන්නත් අප අතරේ ඇති වීදුරුවෙන්, කෙවිනා ඊතල පහර කෑ සඳකිඳුරා මෙන් ඇඹරෙනු පෙනෙයි. ආලය කරන කාලයේ හැටි ඔහොමය. දින 14ක් ඇතුලත මා හට නාට්‍යය 14ක් මූ පෙන්වනවා නිසැකය. කම් නැත, මමත් වේදිකාවේ කලක් සිටි නළුවෙක් වෙමි.
රැගෙන ආ පොත් කිහිපයක් ඇත. කාලයක පටන් ලියාගෙන ආ පිටපත් කිහිපයක් සහ පොතක කොටසක් නිම කිරීමටද සිත ඇත. එහෙත් ඊට පෙර මා කෙවිනාව බැල්කනියෙන් පිටතට දමන්නටත් ඉඩ ඇත.
කෙවිනා කොට්ටයක් හපයි. අදට මේ ඇතිය. ලවණ මිශ්‍ර වාතය මාගේ නාස් වල වැදෙයි. සවීගෙන් ඇමතුමක් එයි. නිසැකවම ඒ මට හොඳ වැඩේ යැයි පවසන්නට විය යුතුය. මාගේ සමීපතමයෝ සියල්ලෝම මට පැවසුවේ ඉක්මන් නිවන් සුවයයි. ඒ අතින් ඔවුන් කෙතරම් අගනේද. මම නවතින්නම්. හෙට හමුවෙමු.