මට මුලින්ම ජෙප්පෙක් හම්බුවෙන්නේ මම පොඩිම කාලේ. මේ ජෙප්පා ඉන්නේ අපේ ගෙදර. බොහොම දරුණු නීති රීති තියෙන මේ ජෙප්පා විනයක් ඇතිව ඉන්න කෙනෙක්.

“මගේ පුතා නම් අප්පච්චි වගේ හැදෙන්න එපා. පේනවානේ තියෙන මුරණ්ඩුකම”. අම්මා කියන්නේ එහෙමයි.

“අපි විජේවීර සහෝදරයාගේ කාලේ දේශපාලනය කරපු උන්. පන්ති හතරට විතරක් ගිහින් නිකම් ජේවීපී වුණ උන් නෙමෙයි. ඒ කාලේ මම හතරවෙනි තට්ටුවෙත් ඉඳලා තියෙනවා අල්ලන් ගිහින්. පක්ෂේ හොඳ විනයක් තිබුණා. ඔය විමල් වීරවංශලා, අනුර කුමාරලා තමයි පක්ෂේ කෑවේ. අදටත් මට දුක හඳුන්නෙත්ති සහෝදරයා ගෙන.” අප්පච්චි කිව්වේ එහෙමයි.

ඊට පස්සේ මට ජෙප්පෝ දෙන්නෙක් හම්බු වෙනවා මගේ පරණ ඉස්කෝලෙදී. එකෙක් කොම්බුවාගේ තාත්තා. අනිකා ගජියාගේ තාත්තා. ගජියාගේ තාත්තායි අපේ අප්පච්චියි දෙන්නාට දෙන්නා කියන්නේ සහෝදරයා කියලා. ඒ නිසා උගේ තාත්තා අදටත් සහෝදර අංකල්. ඒ දෙන්නත් දැඩි මතදාරී මිනිස්සු දෙන්නෙක්. මේ කාලේ වෙද්දී අප්පච්චි ධනවාදී වෙලා. ඉස්කෝලේ යම් බලයක් එයාට තිබුණා. දවසක් පොඩි කාලේ මට ගහපු එකෙක්ව ඉස්කෝලෙන් අයින් කරන්න ප්‍රින්සිපල්ට අප්පච්චි බලපෑම් කලා.

“සහෝදරයා, ප්‍රශ්ණයක් තියෙනවා නම් අපි හරි විදිහට ඛේරගමු. අපි අනිසි බලපැම් කරලා හරියන්නේ නැහැ. මේකද අපි ඒ කාලේ දරපු ප්‍රතිපත්තිය?” සහෝදර අංකල් ඒ වෙලාවේ අප්පච්චිගෙන් ඇහුවේ එහෙමයි.

ඊට පස්සේ මට ජෙප්පෝ හමුවෙන්නේ ටීවී එකෙන් විතරයි. විමල් වීරවංශ පක්ෂේ කඩාගෙන එන එක, සෝමවංශ අමරසිංහ ආයෙත් ලංකාවට එන එක වගේම අනුර කුමාර පක්ෂේ නායකත්වය ගන්න එක වගේ දේවල් මට මතකයි.

ඊට පස්සේ මට ජෙප්පෝ හම්බුවෙන්නේ මම උපාධිය කරන කාලේ අපේ යාළුවෝ කැම්පස් යද්දී. උපාධි කඩේකට ගිය මම යනවා අපේ කැම්පස් වල ඉන්න උන්ව බලන්න. කැළණියේදී මට හම්බුවෙනවා ජෙප්පෝ. තෙල් බැම්ම හරියේ මම ඇවිදන් යද්දී කිසි පිලිවෙලක් නැති, හඩ්ඩෝ වගේ ඉන්න මුන් මා දිහා බලන් ඉන්නවා කන්න වගේ. මාත් එක්ක ඇවිදන් යන මැගී මට ශේප් එකේ යමු කියලා සංඥා කරනවා.

කිසි පිලිවෙලක් නැති, හඩ්ඩෝ වගේ ඉන්න මේ ජෙප්පන්ට හැබැයි මම වෛර කරන්නේ නැහැ. උන්ගේ ඇතුලේ තියෙන නිර්මාණ වලට මම ආසා කරනවා. බිත්ති වල, මහා ශිෂ්‍යය සංගමයේ කාමර වල බිත්ති වල මුන්ගේ හිතේ කෑ ගහන අදහස් මම කියවනවා. ශිෂ්‍යය දේශපාලනයේ ලස්සන මම දකිනවා. අවුරුදු ගාණක් බැට කාපු ජීවිත වල කෑගැහිල්ල මම අහන් ඉන්නවා. ඔන්න ඒ කාලේදීම අර ලහිරු කියන එකා ශිෂ්‍යය සංගම් සභාපති වෙනවා. ඌ ශිෂ්‍යය දේශපාලනය විකුණනවා.

ඩිග්‍රිය අන්තිම හරිය වෙද්දී මමයි, මනියායි මයියාගෙයි අදහස් මැච් වෙන්න ගන්නවා ජෙප්පෝ එක්ක. අපි දකිනවා සමාජයේ වැරදි. අපිත් ඒවාට කෑ ගහන්න ගන්නවා. අපිට වෙන අසාධාරණකම් වගේම රාජපක්ෂ පරපුරේ අයට විතරක් කැප වෙන වරප්‍රසාද එක්ක අපි එරෙහි වෙනවා.

“ඇයි අපිට හැම වෙලේම මෙහෙම අසාධාරණ වෙන්නේ? මේ සමාජය සාධාරණ වුණා නම් මෙහෙම වෙන්නේ නැහැ නේද?” අපි ප්‍රශ්ණ කරනවා.

ඊට පස්සේ පටන් ගන්නේ මගේ ධනවාදී නැගීම. රස්සාවක් කරලා, සල්ලි හම්බු කරලා, රටේ ලෝකේ පොඩ්ඩක් ඇවිදින්න ගත්තාම මම දකිනවා ලෝකේ හැම තැනම අසාධාරණේ තියෙනවා කියන එක. ඒ අසාධාරණේට මිනිස්සු මුහුණ දෙන විදි කිහිපයක් තියෙනවා.

1. සමහරු අසාධාරණේ එක්ක එකතු වෙනවා.
2. සමහරු “ඇයි අපිටම මෙහෙම වෙන්නේ?” කියලා කෑ ගගහා රණ්ඩු වෙනවා.
3. අන්තිම පිරිස මේ අසාධාරණේ තේරුම් අරන්, තමන්ට පුළුවන් විදිහට දේවල් කරගෙන යනවා.

ඒ කාලේ හැටියට මම තෝරගන්නේ පලවෙනි මෙතඩ් එක.

රට ඉඳන් එනකම්ම මම ඉන්නේ මේ අසාධාරණේ පැත්තේ. ඒ පැත්තේ ඉන්න එක ලේසියි වගේම වරප්‍රසාදත් වැඩියි. අන්තිමට තමන්ට අසාධාරනයක් වෙනකම් ම ඒ පැත්තේ වැරදි තමන්ට පේන්නේ නැහැ. රට ඉඳන් ආවාට පස්සේ මම යනවා සිනමා පාසැලට. මගේ ජීවිතේ ඊලඟ ජෙප්පෝ සෙට් එක හම්බු වෙන්නේ එතැනින්.

එතැන ලොකුම ජෙප්පා පතිරාජ සර්. ඊට පස්සේ ගත්තාම අපිට හම්බු වෙනවා ප්‍රියන්ත සර්, හිනිදුම සුනිල් සෙනෙවි සර්, අශෝක හඳගම සර්, විමුක්ති ජයසුන්දර සර්. අතුල සර්වයි ප්‍රසන්න සර්වයි මට කවදාවත් ඒ වගේ පෙනුනේ නැහැ. ඒ දෙන්නාම අර අසාධාරණේ තේරුම් අරන් තමන්ගේ දේවල් කරගෙන ඉන්න කුලකයටයි අයිති වුනේ. මේ වගේ අය අතරේ ඉගෙන ගන්න අපිට පලවෙනි පාරට එනවා ඇත්තටම මොකක්ද මේ සමාජවාදය කියන දේ ගෙන අවබෝදය. මෙතැනදී මගේ සහෝදර ජෙප්පා වෙන්නේ සචිත. උටත් තියෙනවා අරගලයේ උණ. පන්තියේ ගොඩාක් දෙනෙක්ට තියෙනවා මේ විප්ලවකාරී උණ. අශාන් ඒ ගෙන ෆිල්ම් එකක් පවා කරන්න උත්සාහ කරනවා. හැබැයි මම දකිනවා මේ හැමෝගේම එක වෙනසක්. මෙයාලා කවුරුත් අරගල කරන්නේ කාටවත් විරුද්ධව නෙමෙයි. අසාදාරණය ගෙන වගේම සමාජයේ තියෙන වැරදි දේවල් තමන්ගේ දැක්මෙන් ප්‍රකාශණයක් කරන්නයි මේ හැමෝම උත්සාහ කරන්නේ.

මම මේ අතරින් කැමතිම වෙනවා දවසක් හිනිදුම සුනිල් සෙනෙවි සර් කියන කතාවකට. ඒ තමයි පතිරාජ සර්ට ඇයි වම් ඉවුරේ සිනමාකාරයා කියලා නම පටබැඳුනේ කියන එක.

“සමාජයේ අසාධාරණයක් හරි වැරදි දෙයක් හරි දැක්කාම ඒක ධනවාදයද සමාජවාදයද කියලා නොතකා වැරදි දේ වැරදියි කියලා කීම සහ හරි දේ හරි දේ කියලා කීම” මෙන්න මේ වම් ඉවුරේ කියන සංකල්පය කියන එක සර් කියනවා. ඒක තමයි පතිරාජ සර්ගේ ගොඩක් නිර්මාණ වලට පදනම වෙලා තියෙන්නේ. මේ කන්සෙප්ට් එක මට හිතට අල්ලලා යනවා.

ආයෙමත් මගේ නිදාගෙන ඉන්න ජෙප්පා ඇහැරෙනවා. මට මතකයි 2015 යහපාලන ආණ්ඩුව ගෙන එන අවස්ථාවේ රාජපක්ෂ ආණ්ඩුවේ වැරදි අපි විවේචනය කරනවා. චරිත්ගේ අම්මා ඒ පාරත් මහින්දට ජන්දේ දෙන්න යනකොට මම කතාව පටන් ගන්නේ “කල්පනා කරලා බලන්න මිස් ” කියලා. මගේ මුල්ම ඡන්දේ දෙන්නේ 2013 ද කොහොද තිබ්බ පලාත් සභා ජන්දේදී ජවිපෙට. දෙවැනි ඡන්දය 2015 යහපාලන ආණ්ඩුවට.

ඔය කාලේ තමයි අළුත් පරපුර එළියට එන්නේ. මට උන්ව දිරවන්නේම නැති සෙට් එකක් වෙනවා. රැඩිකල් කියලා කියාගන්න මේ රැලත් එක්ක අර මගේ තිබ්බ දේශපාලන මතය ගැලපෙන්නේ නැති වෙනවා. ඒ වෙනකල් ජෙප්පෝ එක්ක යන්තම් හරි ලඟින් ගිය මගේ දේශපාලන ප්‍රතිපත්ති නැතිවෙලා යනවා ජෙප්පෝ මේ රැඩිකල් උන් එක්ක සෙට් වුණාම. මෙතැනින් හැදෙනවා වෙනස්ම මාෆියාවක්.

සමාජයේ වෙන අසාධාරණේට විරුද්ධ වෙනවා වෙනුවට මේ රැඩිකල් සෙට් එක පටන් ගන්නවා හැම රෙද්දම වැරදියි කියන්න. උන්ගේ ප්‍රධාන සතුරා වෙන්නේ සමාජ අසාධාරණය නෙමෙයි, සාමාන්‍ය ජීවිතයක් ගත කරන එක. 2017 තරුණසේවා සභාවේ කෙටි චිත්‍රපටි උළෙලින් මම ගන්නවා දෙවැනි තැන. එතැන ඉන්නවා ඊට පස්සේ තැන් ලබාගත්ත සෙට් එකක්. මෙයාලාව මට හම්බුවෙනවා එක එක ෆිල්ම් ෆෙස්ටිවල්ස් වලදී. මෙයාලාගේ මතය තමයි, කළාව දන්නේ අපි. කළාව කරනවා නම් රැඩිකල් වෙන්න ඕනේ. අපේ අනුමැතිය නැතිව කරන දේ කලාව නෙමෙයි කියන ඒක. බොහෝමයක් අංකුර කලා කරුවන්ගේ නිර්මාණ යට ගිහින් මේ රැඩිකල් සෙට් එකගේ නිර්මාණ උඩින් තියෙනවා රැඩිකල් මාෆියාව තුලින්.

ඉරාජ් කියන්නේ මට පේන්න බැරි රෙදි අපුල්ලන එකෙක්. හැබැයි සමහර තැන් වලදී මිනිහා මේ මඩ ගහන පොයින්ට්ස් හරි. ඉස්සර මම ආස කරපු ජෙප්පන්ට වඩා දැන් ඉන්න උන් මහා කුහකයි. ශිෂ්‍යය දේශපාලනය තනිකරම උන් කෑවා. රැඩිකල් වෙලා සාමාන්‍යය ජීවන රටාවට පහරලා මිනිස්සුන්ට පක්ෂේ එපා කලා. ඉස්සර වගේ සමාජ අසාදාරණයට අරගල කරනවාට වඩා දැන් ඉන්න එවුන් “අනේ අපිට වෙන්නේ අසාදාරණයක්, අපිව ඛේරගන්ඩෝ…” කියන Victim මෙන්ටලිටි එකේ ඉන්න සෙට් එකක් බවට පත් වුණා.

මේ අතරේ මම යනවා කොළඹ කැම්පස් එකේ මාස්ටර්ස් ක්ලාස් එකට. මෙතැනදී මගේ ජෙප්පා දසුනි. මේ සෙට් එකේ ඉන්නවා ජෙප්පෝ කිහිප දෙනෙක්ම. හැබැයි මේ ජෙප්පෝ අළුත් පරපුරේ අය නෙමෙයි. පැහැදිලි දේශපාලන මතයක් තියෙන, තමන්ගේම දෙයක් කරන, හැබැයි වැරදි දෙයක් දැක්කාම ඒකට එරෙහි වෙන අය.

මේ අය අතරේ ඉන්න එක ජෙප්පෙක් හැමදාම දවල්ට කන්න සෙට් වෙනවා. සෑහෙණ උස මහත ශරීරයක් තියෙන මේ ජෙප්පා ගොඩක් වෙලාවට කඩේ කෑමවත් කැන්ටින් එකේ කෑමවත් කන්නේ නැහැ. ඒ නිසා මම ගෙදරින් ගේන බත් එක කන්න මේ ජෙප්පා එනවා. මේ ජෙප්පා වැඩිය කියවන්නේ නැහැ. හැබැයි හැම දේම බලාගෙන ඉන්නවා. රාජපක්ෂ ආණ්ඩුවටම සින්න වෙච්ච බුද්ධික අයියා එක්කත් මේ ජෙප්පා ෆිට්. මම අහනවා දසුනිගෙන් කවුද මේ ජෙප්පා කියලා.

“ඇයි යකෝ මේ කැටේ අයියානේ. ස්වාධීනේ ඩිරෙක්ටර් වෙලා හිටියේ. අර කූඹියෝ එක ටෙලිකාස්ට් කලේ.”

මෑතකදී මම දකිනවා මේ ජෙප්පා ඡන්දේ ඉල්ලනවා. සමාජ ජාලා වල මෙයාගේ මතය ගෙන යන ගොඩාක් දේවල් මම බලනවා. මිනිහාගේ දේශපාලනයෙන් මම පරණ ජෙප්පන්ගේ ගති දකිනවා.

මේ පාර මම ඡන්දේ දාන්න යන්නේ නැහැ. ඒ නිසා මේ ජෙප්පාට ඡන්දයක් දෙන්න වෙන්නෙත් නැහැ. හැබැයි මේ තමයි මම දකින අවසාන ජෙප්පා. මේ පාර ඡන්දෙන් මේ ජෙප්පා පරදිනවා. විමල් කැටිපේආරච්චි කියන මේ ජෙප්පා රැඩිකල් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

මම ගෝඨාභයට හරි කියනවා. මේ පාර ඡන්දේ දෙනවා නම් එක්කෝ කැටිපේට හරි සරත් වීරසේකරට හරි දෙන්න කියලා මම යාළුවෙක්ට කියනවා. හැබැයි මම නැවත නැවතත් කියනවා. මම මහින්දට ආස නැහැ. මහින්දගේ පුතාලාගේ විදිහටත් මම ආස නැහැ. මහින්ද වටේ ඉන්න උන්ටත් මම ආස නැහැ.

මිනිස්සු මට ජෙප්පා කියනවා. සීයට තුනේ කියනවා. මම උන්ට හේතු පෙන්නන්න යන්නේ නැහැ. හැබැයි මම තවමත් පතිරාජ සර්ගේ වම් ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා.