අප ජීවත් වන මේ සමාජ පද්ධතිය හැම මොහොතකම උත්සාහ කරන්නේ එහි සමතුලිතතාවය පවත්වාගෙන යාමටය. එහි පැවැත්ම සඳහා මෙය අත්‍යාවශ්‍ය කාරණාවක් වෙයි. එහෙත් මේ පද්ධතිය නැති කර ඊටත් වඩා හොඳ පද්ධතියක් නිර්මාණය කරන්නට නම් වෙනස් ආකාරයෙන් සිතනා අය සිටිය යුතුමය. මෑත කාලයේ බොහෝ දෙනෙක් වෙනස් වීමට උත්සාහ කලෝය. අළුත් පරපුරක් බිහි විය. ජනවාරි 8 වන දා වෙනසට මා පවා හවුල් විය. ඒ තීරණය ගෙන මා දූක් නොවූවත් ඒ මොහොතේ විශ්වාසය තැබූ පිරිස ගෙන මා පසුතැවෙන තරමක්.. යලිත් එවැනි වරදි සිදූ නොවන්නට අනාගත පරපුර වෙනුවෙන් නිවැරදි වෙනස කුමක්ද යන දේ ලියා තැබීම මාගේ යුතුකම ලෙස සලකා මේ සටහන ලියමි.

මා ඔබගෙන් පැණයක් අසන්නෙමි. ඔබ සාමාන්‍ය පුද්ගලයෙක්ද නැතිනම් ඔබ වෙනස් කෙනෙක්ද? අද බහුතරයක් මේ පැණයට පිළිතුර ලෙස තෝරා ගන්නේ වෙනස් කෙනෙක් යන්නයි. එවිට මා තවත් ප්‍රශ්ණයක් ඔබෙන් අසන්නෙමි. එසේනම් ඔබ වෙනස් වන්නේ කොයි ආකාරයෙන්ද? ඒ පැණයට ඔබ දෙන පිළිතුර මත ඔබගේ වෙනස්කම විශේෂත්වයක්ද නැතිනම් ආසාමාන්‍යය සොබාවයක්ද යන වග මා හට තේරුම්ගත හැකිය. මා මේ මුලපුරන්නේ මෑත කාලයේ මට දකින්නට ලැබුණු වෙනස් අය පිළිබඳව කතාන්දරයයි.

මා විශ්වාස කරනා යම් යම් මූලධර්ම ඇත. එයින් එකක් නම් සම්මතය බිඳදැමීමේ මූලධර්මයයි.

“ඔබ සම්මතය බිඳ දමන්නට ක්‍රියා කරන්නේ නම් මුලින්ම සම්මතය හොඳින් වටහාගන්න. ඉන් පසුව එහි ඇති දූර්වලතා නැති කර වඩාත් හොඳ නව සම්මතයක් ඇතිකරන්න.”

“If you wanna break the rules, know the rules first”

අද සමාජයේ සම්මතයෙන් පිට යැයි කියනා බොහෝ දෙනෙක් ඔබ දැක ඇත. මේ අය රැඩිකල් පොරවල්ය. නිරාගමිකය” සහජීවනවාදීන්ය” ස්වාධීනය” කොටින්ම මයි ලයිෆ් මයි රූල්ස්ය. මාගේ කතාව වෙනස් වන්නේ මෙතැනින්ය.

මා එදා සිටම සමාජය පවතිනා ක්‍රමය ප්‍රශ්ණ කල කෙනෙකි. මා හට වැරදි යැයි සිතුණු කිසිවක් මා කලේ නැත. එවැනි අවස්ථා වල මා කලේ සම්මතයෙන් පිට පැන ගමන් කිරීමය. මා බුද්ධාගමෙන් ඈත් වූයේ බුද්ධ දර්ශණය අතහැර නොවේ. අදටත් බුද්ධ දර්ශණයේ මූලික ඉගැන්වීම මා සැකයකින් තොරව පිළිගනිමි. එසේම අනෙක් ආගම් වල ඇති හොඳ දේ පවා මා අනුගමනය කරමි. මා පෝයට පන්සල් නොයමි. කොටින්ම දිනපතා පන්සිල් වත් නොගනිමි. එහෙත් මම නිරාගමික වන්නේ එහි ඇති දෑ හෑල්ලූ කිරීමට නොව. අද නිරාගමික වීම එක්තරා මෝස්තරයකි. රැඩිකල් ජීවිත වලට අවශ්‍යම අංගයකි. ආගමක් අතහැර නිරාගමික වීමට නම් ඒ පුද්ගලයා දැනුම අතින් සහ මානසික අතින් මනා පාලනයකින් සිටිය යුතුය. එසේ ඇති අයෙක්ට ආගමකින් වන පාලනය කිරීම අවශ්‍යය නොවේ. එහෙත් අද මා දකින්නේ ස්වයං පාලනයක් නැති රැල්ලට යන නිරාගමිකයන් පිරිසක්ය.

මෑතකදී රණවිරුවන් පිළිබඳව ඇතිවුණු කතිකාව මගේ සිත්ගත් එකක් විය. පිරිසක් රණවිරුවන් ඇගයූ අතර රැඩිකල් පිරිසක් එහෙත් මැරුනේ අපේම අය කියමින් එයට විරෝධය දැක්වූහ. මම කිසි විටෙකත් යුද්ධයේ යහපතක් නොදකිමි. එහෙත්, මිනිසුන් නොමරා ජයගත් යුද්ධ ගෙන මා අසා නැත. ඊටත් වඩා යුද කල අය නැතිනම් එකී රැඩිකල් පිරිසව අනෙක් පාර්ශවය විසින් උඹලාත් අපේම අය යැයි කියමින් සාදරයෙන් පිලිගනීවි යැයි මා නොසිතමි. යුද්ධය අවසාන තුරුම්පුව විය යුතුය, එහෙත් යුද්ධය නිම වූවාට පසුව එයට ගැරහීම සම්මතය කැඩීමකටත් වඩා ඉතාමත් අනුවණ ක්‍රියාවක් සේ මට හැඟෙයි.

මා මංගල උත්සව වලට දැඩි ලෙස අකමැති කෙනෙක්මි. මා අකමැති එහි ඇති පුහු දේවල් වලට විනා පෝරුවේ චාරිත‍්‍ර වැනි සම්ප‍්‍රදායික දේවල් වලට නොවේ. අපගේ යැයි අනන්‍යතාවයක් පවතිනා එවැනි දේ පවා බැහැර කර වෙනස්ම පුද්ගලයෙක් වන්නට උත්සාහ කරන්නේ නම් එය තමාගේ මුල් කපා දමා ගසක් වැඩනේනට සිතනවා වැනිය.

එදා ගැලීලියෝ සමාජයේ සම්මත කඩනා කල පල්ලිය ඔහුට විරුද්ධ විය. ඩාවින්සි මත ඉදිරිපත් කරනා කල මුළු සමාජයම ඔහුට එරෙහි විය. නමුත් ඔවුන් සම්මත කැඩුවේ ඊටත් වඩා හොඳ තත්වයක් උදා කරන්නට ඇරෙන්නට අහේතුක පදනමක් මත නොවේ. අද සිටිනා බහුතරයක් සිනමාවේදින් වෙනස් දෙයක් ලෙස කරනා කළාත්මක චිත්‍රපට වැනි නිර්මාණ අවංකවම මා හට නොතේරේ. ධර්මසේන පතිරාජයන් වම් ඉවුරේ සිනමාකරුවා වූයේ කාටත් නොතේරෙන වෙනස් දෙයක් කලාට නොව, පවතින සමාජ තත්වය ඉහල නංවන්නට සමාජ ක්‍රමයට පහර ගැසූ නිසාවෙනි.

වෙනස් වීම යහපත් දෙයකි. වෙනස්ව සිතීම පරිණාමයේ තීරණාත්මකම සාධකයකි. එහෙත් මුලින්ම තමා වෙනස් කිරීමට යන දේ අවබෝධ කරගන්න. පසුව ඒ දේ වෙනස් කරන්න. යම් දෙයක් වෙනස් වීමෙන් යහපතක් නොවන්නේ නම් කරුණාකර එය ඒ ආකාරයෙන්ම තබන්න. අද සිටිනා රැඩිකල් යැයි කියනා බහුතරයක් දෙනා සිතනා ආකාරයට වෙනසක් වන්න උතාසහ නොකරන්න.