මිනිස් සිත ඉතාමත් විශ්මයජනකය. ආලෝකයේ වේගයට වඩා සිතුවිලි ඇතිවන මේ සිත පිළිබඳව ඇති අනෙක් රසවත් කරුණ නම් මෙය ඇත්තේ කොතනකදැයි කීමට අපි කිසිවෙකුට නොහැකි වීමයි. සිතක පහල වන මේ දහසක් සිතිවිලි වලින් සුන්දර නිර්මාණ කරපු මිනිසුන් අප අතර බොහෝමය. මා ආශා කල ඉතාමත් දක්‍ෂ නිර්මාණකරුවෙක් වන පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතා ගෙන ලියැවුණු බොහෝමයක් පොත් තුලින් මා ඔහු දකින්නට උත්සාහ කලෙමි. ඔහුගේ අමරණීය ගීත රචනා වලින් මා ඔහුගේ සුන්දර මනස හඳුනාගන්නට උත්සාහ කලෙමි. ඔහු පිළිබඳව විවිධ කෝණ වලින් ඇසූ කතා වලින් ඔහු ඉතාමත් නිර්මාණශීලී, තමන්ගේ තීරණ කෙරෙහි දැඩි ලෙස විශ්වාසයෙන් සිටි, නමුත් සෑම විටෙකම ජීවිතයේ යම් දෙයක් සොයමින් සිටියා වැන්නක් පෙනෙන්නට තිබුණි.

පසුගිය වසරේදී මට අනුශ්ක ගුණසෝම සහ ගවේසී ස්වාමීන් වහන්සේ ඇසුරු කරන්නට ලැබුණු අවස්ථාවකදී පේ‍්‍රමකීර්ති දි අල්විස් මහතා ගෙන මාතෘකාවක් මතු වුණත්. නැවතත් මේ පිළිබඳව මාගේ මතකයට නැගුනේ පෙර දින අශාන් අමරසිංහ හා කල කතාබහෙන්ය. මේ ලිපිය මා ලියන්නේ බහුතරයක් කියවන්නන්ගේ හිතසුව නොව, ඉතාමත් සුළු පිරිසක් උදෙසා වල බව මුලින්ම පැවසිය යුතුය.
මේ ගීතය ඔබ අප හැම දෙනාම හොඳින් අසා ඇති, මත්පැන් වලින් දුක් දිය කරනා විට නිරන්තරයෙන් මුවගට නැගෙන තරමේ ගීතයකි. බැලූ බැල්මට රාගය සහ බැඳුනු ශෘංගාර රසයක් ඇති ගීතයක් ලෙස පෙනුනත් ඒ තුලින් දිවෙන ඉතා ගැඹුරු කතාවක් ඇති බව පෙනෙන්නට තිබුණි.

මියුරු කල්පනා නෙතක දැල්වුණා
අමයුරු රස හසකැන් මැද හිතක් හිනැහුණා
වරෙක නැළවුණා වරෙක ලතැවුණා
නුපුරුදු ගිනි දහසක් මැද සිතක් මැළවුණා
මියුරු කල්පනා…

ඇසින් දකිනා දෙයක් ගෙන සිත තුල ඇතිවන සුමිහිරි සිතිවිල්ලක් නිසා හටගන්නා සතුටු සිතක් ඇති කරන්නේ ප‍්‍රබෝදයයි. ඒ සිත වරෙක නැලවෙන අතර වරෙක ලතැවෙයි. පාරේ යන සුන්දර තරුණියක් දකිනා ඔබ ඇය ගෙන ඇති කරගන්නා සුන්දර සිතුවිලි නිසා ඔබ සතුටු වවුනත්, ඇය ඔබගේ කර ගන්න හෝ ඇය සමග සිටින්නට ඇති ආශාව නිසා ඔබට දැනෙන සිතුවිල්ලේ තරම පසුව ඇය නොපෙනී ගියහොත් ලතැවිල්ලකට වෙනස් වන ආකාරය කොතරම් ඉක්මන්ද? මේ සියල්ල වෙන්නේ තත්පරේකටත් වඩා අඩු කාලයකදීය. මෙසේ ලතැවෙන සිත පතුලෙන් ගින්නක් සේ හටගනිමින් මැළවී යයි. මේ සිතේ ස්වභාවයයි. බාහිර ලෝකයේ ඇති වෙනස්වීමට සිත ප‍්‍රතික‍්‍රියා කරනා ආකාරය ඉතාමත් සුන්දර ආකාරයෙන් මෙයි දක්වා ඇත. බුද්ධ දර්ශණයේ දුක් උදෙසා දුක් විඳීම ලෙස හැඳින්වෙන්නේ ද මේ ක‍්‍රියාදාමයයි.

සිත නොහොත් මේ සියළුම අප අවට පවතින භෞතික දේවල් වලට පණ දෙන මහා මොළකරුගේ ප‍්‍රධාන ආධාරකරුවන් පස් දෙනෙකි. බුද්ධ දර්ශණයේ පංච ඉංද්‍රීන් ලෙස හඳුන්වන මේවා තුලින් ලැබෙන රූප, ශබ්ද, ගන්ධ, රස හා ස්පර්ශ නම් සංඥා තුලින් අපගේ සිත විසින් එම මොහොතේ අප මේ දිවි ගෙවන භවය නිර්මාණය කර දෙයි. කෙනෙක් තර්ක කරනා ලෙස, මේ ක්‍ෂණයේ අප මේ සිටින භවය පෙර කී සංඥා වලින් සෑදුන දෙයක් නම්, ඒවා නැති තැන කිසිවක් නැත ද යන්න තවත් ගැඹුරු මාතෘකාවකි. මේ සියල්ල එකිනෙක වෙන් කල විට අවසානයේ කිසිවක් නැතිවී යන තැන කාලය හා අවකාශය නතර වූ ස්ථානයයි. එතැන ඇත්තේ එක්තරා නිවීමකි. එහෙත් අප අවට සෑදී ඇති මේ භවයේ ස්වභාවය තේරුම් ගෙන එය අවබෝධ කිරීම යනු සැබෑම නිවීමයි. මෙහි ඇති වෙනස් වන ස්වභාවය, නැති වන ස්වභාවය අවබෝධ කිරීම බොහෝ දෙනෙක් ඉතාමත් දුක්බර සහ අත්හැරීමේ සංකල්පයකට අනුගත කර තිබේ. එහෙත් මදක් සිතන්න, නියමාකාර අවබෝධය තුලිදී ඔබට සීමාවක් නැත, ඔබ කිසිම දේකට ඇලෙන්නේ නැත, කිසිම දෙයකට ගැටෙන්නේ නැත, ඒ කිසිවක් නොමැති බව සිතමින් ඔබ මුලා වන්නේද නැත. ඒ මොහොතේ ජීවත් වන ඔබ සෑම මොහොතේම සිටින්නේ ඔබ තුල ඇති සතුට සහ නිවීම තුලයි. පෙර කී කිසිඳු සංඥාවකට ඔබ ප‍්‍රතික‍්‍රියා දක්වන්නේ නැත.

හිමගිර මට වැලි අහුරකි
මහ සමුදුර දිය රැල්ලකි //
කටු අකුලෙන් මල් පුබුදමි
ඔබ සැනසේ නම්…

පිනි බිඳකින් මුතු අමුණමි
දිනිසුරුගෙන් සීතල දෙමි
කඩු තුඩු මත සැතපෙන්නෙමි
ඔබ සැනසේ නම්…

මේ මහා නිර්මාණකරුවා අපට සාදා දෙන මේ චිත‍්‍රය අප හරිහැටි අවබෝධ කරගතහොත්, අපට සිදුවන හා අප අවට සිදුවන සෑම දෙයක් ගෙනම කොතරම් අවබෝධයක් ලබා ගත හැකිද? විශේෂයෙන්ම ඒවාට ප‍්‍රතික‍්‍රියා නොදක්වා ඒවාගේ වෙනස්කම් වලට කම්පා නොවී සිටීම කොතරම් නිදහස් වීමක්ද. ඒ තුලින් ඔබ පත්වන අසීමිත නිදහස නිසාවෙන් ඔබ පත්වන තත්වය නිසා ඔබට මහ සමුදුර තවත් දිය රැල්ලක් පමණි. හිමගිරි වැලි අහුරක් පමණි. ඔබට කල නොහැක්කක් නොමැත. ඔබ ලොව ඇති මහා මොළකරු ඔබේ පාලනයට නතු කරගෙන හමාරය.

මෙය ඉතා ලෙහෙසි කාර්්‍යයක් නොවේ. සිතෙහි සිතිවිලි හඳුනාගෙන එය අවබෝධ කරගන්නා කලාව තුලින් ලෙහෙසියෙන් එය සැනසෙයි නම් ඒ වෙනුවෙන් කඩු තුඩු මත සැතපෙන්නට, පිණි වලින් මුතු මාල අමුණන්න හැකි බව පේ‍්‍රමකීර්ති ද අල්විස් නිර්මාණකරුවා මෙහිදී කියයි.
මිනිස් සිතකින් උපන් සිතුවිලි තුලින් මිනිස් සිතුවිලි වල ස්වභාවය ගෙනම කෙතරම් සූක්‍ෂම ලෙස විග‍්‍රහා කර ඇති ද යන්න මෙය හොඳම උදාහරණයකි. මේ පිලිබඳව තවත් කියැවුණු අවස්ථාවක් ලෙස සේනක බටගොඩ මහතාගේ සැනසුම ගීතය මාගේ මතකයට නැගේ.

සැනසුම හොයනව යන යන තැන
සැනසුම දැනෙනව ඇති තැන
ජීවිතය පුරාවට ලැබුනාත් මදි සැනසුම

අපි ගැන දන්නවනාම් අපි සැම
නුඹ ගැන දැනෙවි පරතෙරටම
මට විෂ්වාසයි ඒ තැන උපදී සැනසුම

සැලකුම් තැන් හඳුනාගෙන
ජීවාත් වෙන ඔයා විඳිනවා, ලබනවා සැනසුම

බැලුවම දැනෙනව හැම තැන
ගැලවුම ලේසිම නැහැ ඇලුනම….

පේ‍්‍රමකීර්ති ද අල්විස් මහතාගේ මියුරු කල්පනා හී තරම් නොවුනත් මෙහි ආශාවල් පසුපස සිත දුවනා ආකාරය සහ ආශාවල් වල ඇති අසීමාන්තික භාවය ගෙන කියැවෙයි. තෘෂ්ණාව නමැති වඩුවා සිත තුල සාදන නිවස කඩා දැමීම පහසු නැත. එක දෙයකින් සැනසෙන්නට පුරුද්දක් නොමැති සිත තව තවත් දේවල් පසුපස යන්නේ කෙසේද, ඒ ආකාරයෙන්ම පෙර කී ඒ ගෘහය තව තවත් ස්ථාවර වෙයි. සැනසුම දැන් දැන් ලැබේවි යැයි අදහසින් එක එක ආශාවන් පසුපස දිව යන මේ ගමන සදාකාලිකය. බුදුරජාණන් වහන්සේ විසින් අංගුලිමාල හට ඔබද නවතින්න යැයි පැවසුවේ මෙකී ආශාවන් සහ සිතුවිලි පසුපස දිවීමයි. එසේ නම් මෙය නැවතීම හෙවත් අවබෝධය තුලින් තෘෂ්ණාව නමැති වඩුවාට නැවතත් එම නිවස ආදන්නට නොහැකි වන සේ සිත සකස් කිරීම සැබෑම දක්‍ෂතාවයකි.

එහෙත් එම කාර්්‍යය සුළුපටු කාර්්‍යයක් නොවේ. මේ ඇලීම කෙතරම් ශක්තිමත්ද යැයි කිවහොත් සිතිවිල්ලකින් හටගන්නා මේ බැඳීම සිත් පරම්පරාවක් තුලින් දැනට ඇති භවය සකසා දෙන අතරම, මරණාසන්න මොහොතේ පහල වන චුති සිත ඊලඟ භවය සකසන ආකාරය දක්වා දිව යයි. ඔබගේ සිත එයට ලැබෙන සෑම ආදානයකටම ප‍්‍රතික‍්‍රියා දක්වයි නම්, සෑම සිතිවිල්ලකම ඇති ආශ්වාදය, ආදීනවය සහ නිස්සාරණය අවබෝධයට සෑහෙන කාලයක් ගනියි නම්, ඔබගේ ක‍්‍රියාකලාපය සෑම විටෙකම කලබලකාරී සහ පිරුණු එකක් වීම පුදුමයක් නැත. එසේ නුපුහුණු සිතකට අවසාන මොහොතේ පවා චුති සිතක් අවබෝධනය හෝ චුති සිතක බන්ධනය බිඳීමට තරමේ හැකියාවක් නොමැති අතර අවසානයේ තමා කල කුසල් හා අකුසල් බැංකු ශේෂය දරාගෙන චුති සිතෙන් සාදා දෙන මීලඟ භවය ගමන් කිරීමට සිදුවන ඇත.
මදකට නවතින්න. තමාගේ සිත හඳුනාගන්න. එයට අවශ්‍යය ආකාරයට ඔබ හැසිරීම නොව, ඔබට අවශ්‍ය ආකාරයට එය හසුරවන්න. ඔබට දැනෙන ලෝබ (ඇලීම්), ද්වේශ (ගැටීම්) සහ මෝහය වැනි දේ හඳුනාගෙන ඒවා අවබෝධය තුලින් ඔබට ඇති ප‍්‍රශ්ණ වලට ඉතාමත් සාර්ථකව මුහුණ දෙන්නට හැකි වනවා ඇත. නිර්මාණශීලී මනසක්, උපේක්‍ෂා සහගත මනසක් ඇතිවන්නේ එකී ක‍්‍රියාකලාපය ප‍්‍රගුණ කිරීමෙනි. කතාබහ අඩු කෙනෙකු වන්න, ක‍්‍රියාවන් අඩු කෙනෙකු වන්න, පිරිස් ආශ‍්‍රය අඩු කෙනෙකු වන්න, නිතර නිදි නොවදින අයෙකු වන්න. එතුලින් ලැබෙන ආශ්වාදය අවබෝධ කරගන්න.

“බැහැයි කියලා බැහැයි කියලා බෑ… ” වැනි ගීතයක සිට “මියුරු කල්පනා” වැනි ගැඹුරු නිර්මාණයක් දක්වා පරාසයක නිර්මාණ කිරීමට හැකියාව ලැබෙන තරමේ සිතක් පුහුණු කරගැනීමට උත්සාහ කරන්න.