දවස් හතරක් මැරිලා මැරිලා පස් වෙනි දවදේ කොළඹ අහස හති අරිනවා දැන් ඇති මේ කරදරේ කියලා. සිකුරාදා කියන්නේ කොළඹට විශේෂ දවසක්. Weekend getaway තමයි හැමෝගෙම දුක් දියකරන දවස. මේ අතරේ වසරක් පුරාවට මහන්සි වුණු එක්තරා ආයතනයක විධායක ශ්‍රේණියේ පිරිසක් සූදානම් වෙනවා දුක් වලින් මිදිලා එක රැයක් ගත කරලා එන්න බොහෝම සුඛෝපභෝගී විදිහට. හැමෝගෙම හිතේ තියෙන්නේ සතුටක්, හරිම උද්යෝගයක්. මහන්සි වෙලා හම්බ කරලා දුන්න දේවල් වලට කරන කෘතගුණ සැලකීමක් විදිහට මේ ලබා දෙන විනෝද චාරිකාව හැමෝගෙම හිතට සහනයක්.
“අද නම් ගහනවා හෙට උදේ එළි වෙනකම් නටන්න බලාගෙන වැඩ කරපු ඇරියස් වලටත් එක්කම..” එකෙක් බොහෝම බලාපොරොත්තුවෙන් කියනවා.
මේ පිරිස දවල් 2ට වගේ පිටත් වෙනවා සතුට හොයාගෙන යන ගමනට. මම බලන් ඉන්නවා බිල්ඩිම උඩට වෙලා මේ දිහා. හැම කෙනෙක්ම පිටත් වුණාට පස්සේ වගේම තියෙන්නේ පුදුම නිහැඩියාවක්.
මම යනවා පල්ලෙහා තට්ටුවට. එතැන ඉන්නවා කාර්්‍යාල මණ්ඩලයට ආදාල වෙන තවත් පිරිසක් එකතු වෙලා. ඒ අය අද යන්නේ නැහැ. එයාලා සේරම පහලට වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා. මමත් හොරෙන් බැලූවා මොකක්ද මේ කියලා. කට්ටියම සල්ලි එකතු කරනවා පීසා අරන් එන්න. සීයේ කෑලි, දෙසීයේ කෑලි වලින් පිරුණු මිටියක් අතේ තියන් පීසා හට් එකේ කොල්ලෙක් සතුට අරන් එනකම් බලාගෙන ඉන්නවා.
“බලාගෙන ඉන්න හොඳේ… දැන් මග එන ගමන් කිව්වා..” පාර දිහා බලාගෙන ඉන්න කෙල්ලෙක් කියනවා. මම ආපහු ඇදුනා උඩට. මම යන්නේ වොෂ්රුම් පැත්තට.
වෙනදාටත් දවසට දෙපාරක් වොෂ්රූම් සුද්ද කරන අංකල් කෙනෙක් ඉන්නවා. මූණේ කොයි වෙලෙත් හිනාවක් එක්ක වැඩ කරන මේ මනුස්සයා අද හරිම කලබලෙන් වැඩ. මාව දැකලා මොහොතක් ගල් ගැහුණු අංකල් ආයෙමත් සුපුරුදු හිනාව දාගෙන හරි හරියට වැඩට බැස්සා. මම ඇහැව්වා මේ කලබලේට හේතුව.
“අද හැමෝම කලින් ගිය එකේ මමත් යනවා සර් ගෙදර.. පවුලේ අයට යශෝධරා බලන්න ඕනේ කිව්වා. වෙලාවක් ලැබෙන්නේම නැහැනේ…” ඒ අංකල් සතුට හොයන් යන විදිය.
සතුට විවිධාකාරයි. කෙනෙක්ම සුඛෝපභෝගී රාත‍්‍රියක් වෙන සතුට, තවත් කෙනෙක්ට පීසා එකකින් ලැබෙනවා. තවත් කෙනෙක්ට ඒක පවුලේ අය එක්ක ගත කරන පොඩි වෙලාවෙන් ලැබෙනවා. හවස පහට විතර මම එළියට බැස්සා කළු පාට බිල්ඩිමෙන් එළියට. ඉර බැහැගෙන යන අතරේ ගාළු කුමාරි කොළඹ බිල්ඩින් වලට හූ කියාගෙන යනවා සෙනඟ පුරෝගෙන “අපි අපේ ගමට යනවෝ” කියාගෙන. මේ හැම දේ දිහාම බලන් ඉන්න කළු පාට බිල්ඩිම පාරේ උඩට ඇදෙන මගේ දිහා බලනවා…
“උඹ සතුටින්ද?” කළු පාට බිල්ඩිම අහනවා මගෙන්..
මම හිනාවෙලා පාර උඩටම ඇදෙනවා.