මිනිසාගේ පරිණාමය පටන් ගත් අවධියේම සිට පැවති ප්‍රධාන ප්‍රශ්ණයක් වූයේ මිනිසාගේ පැවැත්මේ හේතුවයි (Cause for existence). මනුශ්‍යය වර්ගයාගේ පැවැත්මේ හේතුව ගෙන විවිධ ආගමික සහ තාර්කික මතවාද රාශියක් ඇත. පරිණාමය සහ මැවුම්වාදය යන සංකල්ප දෙකෙන් විද්‍යාත්මක සාධක මතින් පරිණාමය ජයගැනීමත් සමගම තව දූරටත් මේ පැවැත්මේ හේතුව ගෙන නොයෙකුත් පර්යේෂණ සිදූවන්නට විය. ගින්දර සොයාගැනීමේ සිට නොයෙකුත් මානව ශිෂ්ඨාචාරයේ සන්ධිස්ථාන පසු කල ආවත් තවමත් එයට ස්තීර විසඳූමක් ලබා දීමට කිසිවෙක්ට නොහැකි විය.

වර්ෂ 2019 වන විට අප යුගයන් ගණනාවක් පසුකර පැමිණ ඇත්තෙමු. අද අප දකින සමාජය 2015 තිබි සමාජයට වඩා ඉතාමත් වෙනස්කම් වලට භාජනය වී ඇත. තාක්ෂණයේ දියුණුව, මිනිස් අවශ්‍යතා වුවමනා ඉහල යාම සහ ඒවාට සමගාමීව මිනිසා ජීවත් වන පරිසරයේ සිදූවූ කෘතිම වෙනස්කම් නිසා වෙනස්වීම තම වේගය ඉතා වැඩි මට්ටමක රඳවාගෙන සිටියි. එදා සිස්ටම් බිඳ දමන්නට අරගල ඇති වූවත්, අද අරගලයත් සිස්ටම් එකේම කොටසක් වී ඇත.

කතාවේ ආරම්භය සහ පාදම දමා අවසන්ය. මේ කතාවේ පළමුවන කොටස ආරම්භ වන්නේ මෙතැන් පටන්ය. මානව වර්ගයාගේ ඉතිහාසය පිලිබඳ අල්ප මාත්‍රයක හෝ දැනීමක් හැම කෙනා තුලම තිබිය යුතුය. එසේනම් ඒ මතකය තුල අතීතයේ සිදූවීම් කිහිපයක් අවුස්සා බැලීමට අවසර පතමි. ඈත අතීතයේ සිට ගත් කල ග්‍රීසියේ සහ රෝමයේ දේව ප්‍රතිමා, ඊජිප්තුවේ පිරමීඩ, චීන මහා ප්‍රාකාරය, ටජ් මහල සහ සීගිරය වැනි මහා නිර්මාණ රාශියක් මිනිසා අතින් බිහි විය. මේ සියලු නිර්මාණ මිනිසුන් රාශ්‍රියක් විසින් එක අරමුණක් සාක්ෂාත් කර ගැනීම උදෙසා කල උත්සාහයේ ප්‍රතිපල වේ. 80 දශකයේ වැනි පසු කාලීනව සිදූවූ නිර්මාණ වලද මේ ලක්ෂණය දැකගත හැකි විය. පළවෙනි ලෝක යුද්ධය, දෙවැනි ලෝක යුද්ධය, ප්‍රංශ විප්ලවය, British අධිරාජ්‍යයට එරෙහි කැරළි සහ විවිධ අරගල තුලද ඉහත කී එක් පොදූ අරමුණක් වෙනුවෙන් මිනිසා එක්ව කටයුතු කරන ආකාරය දැකගත හැකි විය. 90 දශකයේ මැද සහ අග භාගය වන විට මේ තත්වය යම් කිසි පාලනයකට නතු විය. 90 දශකයේ අග සහ වර්ශ 2000න් පසු බිහිවුණු කිසිවෙකුට එකී මහා හේතුවක් වෙනුවෙන් පොදූවේ මිනිසා එක්වීම පිලිබඳව අසන්නට හෝ ලැබුනේ ඉඳ හිටය.

මෑත කාලයේ විල්පත්තු වන විනාශය වෙනුවෙන් තැන තැන පිරිස් එක් වෙනු දක්නට ලැබුණි. එහෙත් මෙය කැරැල්ලක් හෝ අඩුම තරමේ සාර්ථකත්වයක් දකිනා තුරා පවතින බැඳීමක් තරම් වත් ශක්තිමක් වුනේ නැත. දූශිත රාජ්‍යය පාලකයෝ රට විනාශ කරද්දී පවා මෙකී ජන එක්වීම නැගී ආවේ නැත. මෙය අප රටට පමණක් සීමා වූ දෙයක් නොව, පිටරටවල් වල ඇති ගැටලු වල පවා දක්නට ලැබුණු දෙයකි. සිස්ටම් එක සාර්ථකව තමාගේ අවි ශක්තිමත් කරගනිමින් සිටියත් අරගලය තවමත් එක තැනය. මෙයට හේතුව කුමක්ද? පීඩනයට යටත්ව හිස නමාගෙන බහුතරයක් සිටින්නේ ඇයි?

බහුතරයක් දෙනා අද වන විට හුරුව ඇති ස්ව සමාජ රටාවයි. එදා මෙන් සමාජයක් සෑදීමට පිරිසක් අද අවශ්‍යය නැත. හැම කෙනාම ජීවත් වන්නේ තමා පමණක් කේන්ද්‍ර කරගත් සමාජයකය. තමාගේ සබඳකම් සියල්ල තාක්ෂණය හරහා සිදූවෙයි. සමහර අවස්ථා වල මිනිසාගේ සබඳකම කෘතිම බුද්ධිය විසින් ආදේශණය කර ඇත. ඔබට එදා මෙන් වෙනත් මහා හේතුවලට සහයෝගය දැක්වීමට අවශ්‍යතාවයක් නැත. විදූලි බලය ඇති තුරා, අන්තර්ජාලය ඇති තුරා ඔබත් ඔබේම රටක අයිතිකාරයෙකි. අද විල්පත්තුව වැනි දේවල් සඳහා සැබැවින්ම ක්‍රියාත්මක වන අය අතර ඒ වෙනුවෙන් ෆේස්බුක් පිටු සාදාගෙන, යූටියුබ් චැනල් සාදාගෙන, ඒ හරහා තමන්ගේ වටිනාකම වැඩි කරගන්නා පිරිසු කොපමණ සිටීද? බහුතරයක් මේ තත්වය මා දකින්නේ 90 දශකයේ අග සහ ඉන් පසු උපන් සයිබර් යුගයේ දරුවන්ගෙන්ය. සමහර සාම්ප්‍රධායික දෙමව්පියන්ගේ දරුවන් කිහිප දෙනෙක් මේ යුගයේ පවා එසේ නොවෙනස්ව අදටත් මනුශ්‍යය ගති ඇති බව දක්නට ලැබුනේ පෙර දවසක මා සිරස ලක්ෂපති වැඩසටහනේ දූටු කුඩා දරුවාගේ දැනුම පරීක්ෂාවේදීය.

අද තවමත් වැඩෙනා ඒ සයිබර් යුගයේ දරුවන් තාක්ෂණය අතින්, තාර්කික බව අතින් දියුණුය. එහෙත් ඉතිහාසය, කලාව සහ මානුෂීය සබඳතා අතින් ඔවුන් සෑහෙන්න පිටුපසින්ය. සමාජයේ දියුණුව උදෙසා කරනා කටයුත්තක් ඔවුන්ට කිසි ප්‍රයෝජනයක් නොමැති නම් ඔවුන් එයට සහයෝගය නොදක්වති. ඉතිහාසයේ වැදගත්ම පාඩම වන ලොව තුල වරක් සිදූ වූ දේ යලිත් සිදූවෙයි යන න්‍යාය ඔවුන්ගේ ජීවන රටාව තුල නැත. එහෙයින් ස්ව සමාජයක ජීවත් වන ඔවුන් එයත් මහා සමාජයේම කොටසක් ලෙස නොපිලිගනියි. අද ව්‍යසනයක් හෝ සමාජයේ වැදගත් සංසිද්ධියක් වූ වහාම අශේන් වැනි වුන් කැමරා එල්ල කරන් යන්නේත්, ඒ වෙනුවෙන් ටික් ටොක් වීඩියෝ හදමින් ස්ව ප්‍රතිරූපය පෙන්වන්නේත් මේ පදනම මතයි. මෑතකදී තරුණියක් මරා දමනා තුරා තරුණයින් දෙදෙනෙක් එය වීඩියෝ කරමින් පමණක් සිටින්නේ සමාජයේ ප්‍රශ්ණයකට මැදිහත් වීමට වඩා එය අන් අයට පෙන්වීම මගින් ස්ව ප්‍රතිරූපය ගොඩ නැගීම වටිනා යැයි සිතමිනි.

අනාගතය බාර ගනීමට සිටිනා මෙවැනි සමාජයක් අද ඇති වන අවධියක, අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්ථමාන සමාජය සමග ගැටෙමින් ජීවත් වන 80 දශකයේ අග සහ 90 දශකයේ මුල පිරිසක් තමන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කරමින් සිටියි. මෑතක සිදූවූ බොහෝමක් සමාජයේ අඩු කඩනා අරගල වලට මුල් තැන ගත්තේ මෙවැනි පිරිස්ය. ඔවුන් තමාගේ පෙර අරගල කරුවන් මෙන් පාරට පැන උද්ගෝෂණ කර ජනතාවට කරදර කරේ නැත. සයිබර් යුගයේ දරුවන් මෙන් ස්ව ප්‍රතිරූපය වෙනුවෙන් බොරු දේවල් කලේද නැත. ප්‍රශ්ණයට අවශ්‍ය පිලියම් යෙදීමට ඔවුන් කටයුතු කලෝය. මුහුදූ තීරයන්, කුණු ඇති ස්ථාන පිරිසිදූ කලෝය. කපනා ගසකට තවත් එක පැලයක් හෝ සිටුවමින් එය වලක්වා ගැනීමට උත්සාහ කලෝය. අද බොහෝ සමාජ ගැටලු වෙනුවෙන් මෙකී අවසාන යුගයේ පිරිස් විසඳූම් සොයමින් පවතී.

අතීතයෙන් ආ පන්නරයත්, නිවැරදි ක්‍රමය ගෙන ඇති අත්දැකීමත් නිසා ඔවුන් නැවතත් සමාජයේ වැරදි නිවැරදි කරමින් සිටියි. ඔවුනට මුදල්, සමාජයේ පිලිගැනීම හෝ ලැබෙනා ලයික් ප්‍රමාණය ආභරණයක් නොවේ. මානව අයිතිවාසිකම් හෝ ෆෙමිනිසම් ආයුධයක්ද නොවේ. අසාධාරණයට එරෙහිව නැගී සිටීම විනා ඒ ගෙන හතර වටේ පෝස්ට් හදමින් ෆෙයාර් කිරීම විසඳූමක් නොවන බව ඔවුන් හොඳින්ම දන්නා කරුණකි. තවමත් නියම අරගලයේ සුන්දරත්වය රැකී ඇත්තේ මෙකී යුගාන්තයක අවසන් පිරිසක් නිසාවෙනි.

ඔබත් 80 දශකයේ හෝ 90 දශකයේ ඉපදූන අයෙක් නම්, පොත් සුවඳට ආශා කරන පොත් කියවන අවසාන පරපුර අපි වෙමු. විවේකයක් ලද සැනින් එළිමහනට යන, මිතුරන් පිරිසක් සමග කුමක් හෝ ජඩ වැඩක් සැලසුම් කරන අවසාන පරපුර අපි වෙමු. ප්‍රශ්ණ හමුවේ පිරිමින් කඳූළු සලමින් දිවි නසාගන්නා සමාජයක, හැඟීම් දරාගෙන ප්‍රශ්ණ විසඳන කාන්තා පිරිමි සිටිනා අවසාන පරපුර අපි වෙමු. සැබෑ ලෝකයත්, ෆැන්ටසියත් දෙකක් බව දැනගෙන යතාර්තයේ ජීවත් වන අවසාන පරපුර අපි වෙමු. භෞතික දේවල් වලින් තත්වය මනිනා, මූලික සිද්ධාන්ත අමතක කර වෙනත් න්‍යායන් පසුපස යන සමාජයක් බිහිවීමට පෙර සිටිනා අවසන් පරපුර අපි වෙමු. සමාජ පද්ධතියට විරුද්ධව අරගල කිරීමට ඇති අවශ්‍යතාව නිසා පසුබසින්නට නොහැකි, බිහිවනා මුවහත නොමැති කඩු වැනි සමාජයක් හා කටයුතු කිරීමට සිදූවී ඇති, දෙලොවක් අතර තනිවුණු යුගාන්තයක දරුවෝ අපි වෙමු.