මම ඉක්මනටම පාරට ආවේ එන ඕනෑම බස් එකක යන්න තරම් හදිස්සියකින්. එ් තරමට අද ගොඩාක් පරක්කු වෙලා. ඉස්කෝලේ පටන්ගන්න කලින් ගිය දවසක් මට මතක නැත්තේ ඇත්තටම මම කවදාවත් කලින් ගිහින් නැති හින්දා වෙන්නත් ඇති. බෑග් එකත් යන්තම් පටලෝගෙන මම බස් හෝල්ට් එකේ හිටගෙන හිටියා. බස් හෝල්ට් එකක් කිව්වාට, කොට්ටං ගහක අත්තක එල්ලපු බස් නැවතුම්පල බෝඞ් එක විතරයි එතන තිබුණේ.

බස් එකක් එනකම් බලන් හිටිය මට පාරේ දෙපැත්තට යන වාහන අතරින් සුදු ගවුමක් මේ පැත්තට එනවා වාගේ ඇස් කොණකට පෙනුණා. ඉස්කෝලේ යන්න පරක්කු වුණේ කරපු මොකක් හරි පිනකට කියන එක මට තේරුණේ එ් වෙලාවේ තමයි. එයා ආවේ අම්මාත් එක්ක. අම්මා එයාගේ බෑග් එක අරන් පස්සෙන් ආවා. දෙන්නාම ඇවිත් මගේ ලඟ හිටගත්තා. එයා හොට් නැහැ, එ්ත් ලස්සනයි. එයාගේ ඇස් දෙක මගේ දිහාවට හැරුණේ තත්පර ගාණකටත් අඩු කාලෙකින්. ඊටත් වඩා ඉක්මනට හැබැයි අහක බලාගත්තේ උදේ පාන්දර මිනිහා මැරිච්ච ගෑනියෙක් දැක්කා වාගේ බැල්මකින්. එයා බස් එකේ ද හැමදාම යන්නේ? වෙන්න බැහැ. බස් එකේ යන කෙනෙක් නං මම නොදැන ඉන්න බැහැ. කිරි ටොපියක් වගේ ඉන්න එකේ ෂුවර් එකට අද පරක්කු වෙලා ස්කූල් වෑන් එක දාලා ගිහින් වෙන්න ඕනේ.

කොට්ටං ගහේ අතු කැරකෙන්නේ උදේ පාන්දර එන හීතල හුළඟට වෙන්න ඇති. එ් හුලඟට පීරලා තිබුණු එයාගේ කොණ්ඩෙන් කෑල්ලකුත් මූණට වැඩිලා. කලබලේට පීරපු හින්දා වෙන්න ඇති. එ්ක දැකපු එයාගේ අම්මා, එ්ක එයින් කරන්න අත තිබ්බා විතරයි,

“මොකක්ද අම්මා.. මේ පාර මැද්දේ ඕවා කරන්න එපා. මම පොඩි ළමයෙක් නෙමෙයිනේ. අනික මිනිස්සු බලන් ඉන්නවා” කියලා කඩාගෙන පැන්නා.

කතාවත් ඇත්තනේ.. ලොකු ළමයෙක්ගේ එහෙම කරද්දි ලැජ්ජා හිතෙනවානේ..?

හිතන්න ඉඩක් නැහැ. බස් එක ආවේ කොහෙන්ද මන්දා? හරියට බලන්නවත් ලැබුණේ නැහි. බස් එක ටිකක් පරක්කු වුණා කියලා මොනවා වෙන්නද? එකත් බස් එකට නැග්ගා. අම්මාට වැන්දේවත් නැහැ. අඩුම ගානේ ගිහින් එන්නම් කියලාවත් කිව්වේ නැහැනේ..

ගෙදරදී වැඳලා සේරම කියලා එන්න ඇති නේ?

එයාගෙයි මගෙයි අතරේ පරතරය තිබුණේ සීට් 3යි. වීදුරුවට හේත්තු වෙලා මම එයා දිහා බලාගෙන හිටියා. කොන්දොස්තරත් ඇවිත් හැමෝගෙන්ම සල්ලි අරන් ගියා. එයාට නම් ඉතුරු පස්සේ දෙන්නම් කියන්න ඇත්තේ උදේ පාන්දර රුපියල් 500ක් දුන්න හින්දා වෙන්න ඇති. මෙන්න එ් පාර එයා බෑග් එකෙන් අයිපොඞ් එකක් අරන් සින්දු අහන්න ගත්තා.

තමන්ගේ පාඩුවේ එහෙම යන එකත් හොඳයි නේ?

බස් එක රාජගිරියට ලං වෙද්දිම සෙනඟ පිරෙන්න ගත්තේ ඇඟල්ලක්වත් ගහන්න බැරි වෙන විදිහට. බෑග් එල්ලාගත්ත ළමයි, වැඩට යන අය පිරිලා. මමත් ලඟ හිටපු නංගි කෙනෙක්ට ඉඩ දීලා හිට ගත්තේ බෑග් එල්ලන් සෙනඟ අස්සේ යන එක කොචිචර කට්ටක්ද කියලා අත්දැකීමෙන් දන්න නිසා. එ්කට මෙයා, වගේ වගක් නැතිව පාර දිහා බලාගෙන යනවා. එයාගේ ලඟ පොඩි මල්ලි කෙනෙක් ඌටත් වඩා ලොකු බෑග් එකක් එල්ලන් ඉන්නවා. එයාට ගාණක් නැහැ. ඇහෙන සින්දුවට හරියන්න ඔලූව වන වන ඉන්නවා. අර පොඩි එකා බලං ඉන්නේ මේ අක්කා ලස්සන වුණාට පවු කන් දෙකම ඇහෙන්නේ නැහැ කියලා වගේ හැඟීමකින්. ටිකක් දුර යනකොට සෙනග ටිකක් අඩු වුණා. මටත් වාඩි වෙන්න ඉඩක් ලැබුණා. මම බැලූවා එයා මොකද කරන්නේ කියලා. එ් පාර බෑග් එක අවුස්ලා මොකක්ද එළියට ගත්තා. බිස්කට් පැකට් එකක්. අර පොඩි එකා එ්ක දිහා බලාගෙන ඉන්නවා. මෙයාට ගාණක් නැහැ.

පොඩි එකාගේ පෙරේත කම, වෙන මොකක්ද නේ?

දැන් බස් එකේ සෙනඟ ගොඩාක් දුරට අඩුයි. ටවුන්හෝල් එකෙන් බහින හින්දා මමත් නැගිට්ටේ ඉතිරි දුර ෆුට්බෝඞ් එකේ යන්න හිතාගෙන. මම පස්ස දොර ගාවට යද්දි මෙන්න මෙයා නැගිටලා ඉස්සරහා දොරට ලඟට යනවා.

“මේ හලෝ, හිතුවාද මට අමතක වුණා කියලා? කෝ ඉතුරු සල්ලි? කැත වැඩ කරන්න එපා ආ….”

මේ කෑගහන්නේ එයාම ද කියලා මම ඉස්සිලාත් බැලූවා. එයා කොන්දොස්තර අයියා එක්ක ඉතුරු සල්ලි වලට මරා ගන්නවා. දෙන්නාගේ වලිය බස් එකෙන් පිටටත් ඇහෙන තරමට. එයා මෙච්චර දරුණු කෙනෙක්ද ? පෙනුමෙන් නම් එයා මාරම අහිංසක, වැදගත් පාටයි. එහෙම හිත හිත මම බස් එකෙන් බැස්සා. පාර පනින්න හැරෙද්දිම එයා මගේ දිහා බලලා හිනා වුණා. එ්ත් මම අහක බලා ගත්තා….

ඔයාව ද මට එපාවුනේ නැත්තම් මට ද ඔයාව එපා වුනේ?