ඉරක් නැගෙන කුළුඳුල් අහසක් යට
නිදහස නැති උගතුන් පිරිසක් ඇත
ඒ් හිස් මොළ වල ඇති අදහස් වල
හරයක් සොයනට වෙහෙස නොවනු මැන

තමාට කැප නැති පුහු මායිම් බැඳ
ඒ බිම රකින්නට දිවි පුද දුන් අය
සල්ලි මතින් ජීවිතය සොයන කල
බලා හිඳිනු හැර කුමක් කරමි මම

සමාජ දැල බිඳලා පැමිණුන අප
තනිව සොයයි ජීවිතේ අරුත ගෙන
සිනා වෙයන් උඹ අප අදහස් දැක
සිහින බුබුලූ කැඩෙනා දින දුර නැත

කැකෑරෙනා දහසක් උත්තර මැද
සිතා ගන්න බැහැ ප්‍රශ්ණයෙ මුල් පද
නසා ගන්න මේ සිත තුල ඇති බර
සිහි මත් කරනෙමි දුම් ගුලි අද්දර

ගෙවු දිවි සිය වසරක් තිබුණත් උඹ
සිත මළ මිනිසෙකි පටන් දෙතිස් විය
සිහි ඇති විසි වසරක් දිවි ගෙවු මම
සැනසෙමි සතුටින්, මගෙ මළගම අද