වසරකට විතර පස්සේ ආයෙමත් අකුරු ලියන්න පුරුදු වෙනවා මං. පසුගිය වසර පුරාවටම මම කලේ නිවාඩුවක් ගන්න එක. කිසිම නිර්මාණයක්වත්, කිසිම ආකාරයක අදහසක්වත් මම ප්‍රකාශ කලේ නැහැ. හේතුව තමයි මුලින්ම මට ලැඛෙන ඉන්පුට් එක සහ මගේ ප්‍රෝසස් එක සුද්ද කරගන්න මට අවශ්‍යය වුණා හොඳ අවුට්පුට් එකක් දෙන්න කලින්. පසුගිය වසර පුරාවටම මම මාව කියෙව්වා. මගේ වැරදි අඩුපාඩු තේරුම් ගත්තා. පුළුවන් තරමට ලෝකය දිහා ලොකු කොණයකින් බලන්න පටන් ගත්තා. මං හිතනවා දැන් මම ආයෙමත් ලෑස්තියි කියලා කතාවක් කියන්න. මේ කියන්න යන්නේ අවුරුද්දකින් පස්සේ කියන අළුත්ම කතාවක්.

අද 2020 මාර්තු 22 වැනිදා. ලෝකයම ගෙවල් වලට වෙලා බලන් ඉන්නවා නිදහස ලැඛෙනකම්. කොරෝනා නිසා දහස් ගාණක් දෙනා මැරෙන්න පටන් අරන්. දැං ටික ටික එක්කෙනා දෙන්නා පටන් ගන්නවා හිතන්න,

“අපි මේ මොනවාද කර කර හිටියේ? අපි කවදා හරි මේ වගේ මැරෙනවා නේද? මොකක්ද දැන් අපි කරන්න ඕනේ කියලා.”

හැබැයි බය වෙන්න එපා. මේ දේවල් ඉවර වෙලා ආයෙමත් සුපුරුදු ජීවන රටාවට ගියාම සතියෙන් දෙකෙන් මේ සිතුවිල්ල අමතක වෙනවා. මම පුළුවන් හැම විදිහකටම කියන්න උත්සාහ කලා අපේ ජීවන රටාව වැරදියි කියලා. කොන්ෂස් විදිහට, මයින්ඩ්ෆුල් විදිහට ජීවත් වෙන්නේ බොහෝම සීමිත පිරිසක්. අනෙක් බොහෝ දෙනෙක්ට මේක නිකම් යන රැල්ලට පාවෙලා යනවා වගේ හැඟීමක් විතරමයි.

අපි හැමෝම තේරුම්ගන්න ඕනේ මේ යුනිවර්ස් එකේ මුල්ම නියමය තමයි ලෝ ඔෆ් නේචර්. නැතිනම් සොබාදහමේ නියමය. මැවුම්වාදයෙන් බැලුවත් පරිණාමවාදයෙන් බැලුවත් ස්වභාවධර්මයා තමයි මේකේ අයිතිකාරයා. එයාගේ හැසිරීම තේරුම් ගත්ත අය විවිධ ආකාරයට පැහැදිලි කරනවා මේකේ ඉන්න ඕන විදිය ගෙන. බුහුහාමුදුරුවෝ ගත්තත්, ජේසුතුමා ගත්තත්, හින්දු ආගමේ මූලාශ ගත්තත් මිනිසා ජීවත් වෙන්න අවශ්‍යය සරල විදිය කියැවෙනවා. සොබාදහම මුල් කරගෙන වගේම ඒකට අනුබද්ධව ජීවත් වෙන එක ඒ හැම තැනින්ම කියැවෙනවා.

ඔතනින් එහාට ඔය දේවල් තම තම නැණ පමණට ගෝචර කරගන්න ගියාම තමයි ලෙඩේ පටන් ගන්නේ. ඕවා ඉන්ටර්ප්‍රිට් කරන එවුන් ගොන්නු නම් උන්ගේ අනුගාමිකයෝ වහු පැටව් වෙනවා වගේ තමයි. උදාහරණයක් විදිහට මම දකිනවා ලෝකයේ ප්‍රධාන ආගම් ගොඩකම හරය එකයි. ඒ හැම දේම කනෙක්ට් වෙන තැන් තියෙනවා. ඒවා ගෙන වෙනම කතා කරන්නම්. මේවා අනු ආගම් වලට කැඩෙද්දී ඇතිවෙන මිස්කමියුනිකේශන් නිසා අර හරය නැති වෙලා තියෙනවා. ඒතිස්ට් කෙනෙක් වෙනවා කියන්නේ ඔය අනු ආගම් වලින් මිදිලා මේ යුනිවර්ස් එකේ ඇත්ත ලෝ එක, නැත්නම් ලෝ ඔෆ් නේචන් කියන දේ තේරුම්ගන්න එකයි. ලෝකේ හැම ගුණාත්මක පැවැත්මකටම තියෙනවා ලොජිකල් ඇල්ගෝරිදම් එකක්. ඒකෙන් පිට පනිනා දේවල් ඔටෝ නේචර් එකෙන් අයින් කරනවා.

සිස්ටම් එක හැදෙන්නේ මෙන්ම මේ ස්වාභාවික යාන්ත්‍රණය ඇතුලේම කොටසක් විදිහට. ලෝකය පවතින්න අවශ්‍යය පොඩි පොඩි දේවල් වගේම මම කලින් කියලා තියෙන සීයට 80ක් විතර ප්‍රජාව පාලනව කරන්නේ මේ සිස්ටම් එක හරහායි. ඉතුරු සියයට 20 තමයි මේ සිස්ටම් එක පාලනය කරන්නේ. ඒ සියයට 20 ඇතුලේ කවුරුහරි ඉන්නවා නම් ලෝ ඔෆ් නේචර් එකට පිටින් යන, එයාවත් ශේප් එකේ මේකෙන් අයින් කරලා දානවා.

දැන් එනවා ප්‍රශ්ණයක්. මොකක්ද එහෙනම් අපේ ජීවිතේ පරමාර්ථය කියන එක. අපෙන් මේ ලෝකේට වෙන්න අවශ්‍යය දේවල් ටිකක් තියෙනවා. තමන් හිතනවා නම් තමන් මේ ලෝකයට ආවේ ඩේටා ඛේස් හැන්ඩ්ල් කරන්න කියලා, සොරි ඔයාව නේචර් එකට සත 5කට වැඩක් නැහැ. මේ ලෝකය ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ ජෛව විද්‍යාත්මකව නම් රී ප්‍රඩක්ෂන් එක විතරයි. ඒකත් ඕනවාට වඩා කලොත් සංහතිය පිටින් මරලා දානවා.

දැන් කෙනෙක් අහයි එතකොට අපි කරන්න ඕනේ මයි හද හද ඉන්න එකද කියලා. නැහැ. අපි ජීවත් වෙන්න ඕනේ. මේ සංසාරයේ අපි ඊලඟ ආත්මයට කොක්කක් ගහ නොගන්න තරමට දියුණු වෙනතාක් කල් අපි මේ රවුමේ යන්න ඕනේ. අපිට ලැබුණු මේ ජීවිතයේ අපි කන්න බොන්න වගේම අපිට ජීවත් වෙන්න අපි යම්කිසි දෙයක් කරන්න ඕනේ. හැබැයි ජීවත් වෙන නිසා කන්න බොන්න ගියාට කන්නයි බොන්නයි ජීවත් වෙන්න එපා. එතැන කිසිම නැවතීමක් නැහැ. තමන් වෙන රටකට යනවා කියලා හිතන්න. අපි අරන් යන්නේ අපිට ඕනෑම දේවල් ටික විතරයි. අපි ගියා ඒ රටේ ටිකක් ඇවිද්දා, ඊට පස්සේ ටික කාලයක් ඕනේ නම් හිටියා. ආපහු ආවා. මේ ආව ජීවිතෙත් හරියට ඒ වගේ. එතැන තියෙන දේවල් මගේ මගේ කියලා අල්ලගන්න ගියොත් ඒවා නැති වෙන දවසක සෑහෙණ දුක් වෙන්න වෙනවා.

අපේ රටේ මිනිස්සු බොහෝමයක් මෝඩයි. ඒ වගේම පණ්ඩිතයි. මෝඩකමයි පණ්ඩිතකමයි එකතු වුණාම එතැන හැදෙන්නේ පරමාණු බෝම්බයකටත් වඩා භයානක තත්වයක්. දැකලා තියෙනවාද සමහර මිනිස්සු වැරදි තීරණ අරගෙන ඊට පස්සේ ඒවා ආඩම්බරයෙන් කියනවා. ඊට පස්සේ ඒවා විහිළුවක් කරගෙන තමන් වැරදියි කිව්ව මිනිස්සුන්ටත් ඒකෙන්ම ගහනවා. ඔය හේතුව නිසාම තමයි මේ රටේ බහුතරයක් දෙනා මාර්කටින් කරන්නේ. අපේ අයට හොඳට කරන්න පුළුවන් එකම දේ බොරු කියන එක. ඒ නිසාම තමයි මේ රටේ චිත්‍ර අඳින මිනිස්සු, කතා කියන මිනිස්සු, වගා කරන මිනිස්සු වගේම මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන මිනිස්සු අඩු.

හැබැයි සන්තෝසයි කියන්න දැන් මුළු ලෝක ප්‍රජාවගෙන් සුළු ප්‍රමාණයක් හරි නැඹුරු වෙලා තියෙනවා වෙනස්ම ජීවන රටාවකට. සමහරු කැලේට වෙලා සත්තු බලාගෙන ජීවත් වෙනවා. සමහරු වගාවන් කරගෙන ඉන්නවා. තවත් පිරිසක් සිත ගෙන අධ්‍යයනය කරගෙන බණභාවනා වල යෙදෙනවා. ටික දෙනෙක් සිස්ටම් එකෙන් මිදිලා ස්වභාවදර්මයාත් එක්ක ආයෙමත් ගණුදෙණු කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම ස්වභාවදර්මයාත් ඒ අය දිහා බලන්න පටන් අරන් තියෙනවා.

සමහර වෙලාවට ඔයාට මම කියන දේ තේරෙන එකක් නැහැ. ඔයා මේ කතාවේ එක තැනක් අරන් මට බණීවි ආන්න දැක්කාද ඔයාට වැරදුණු තැන කියලා. මොකද කල්ප ගාණක් අපි පුරුදු වෙලා ආපු ගතිය අත්අරින්න අමාරු නිසා. සිනමාවේ කියනවා මිනිස්සු කැමති නැහැ තමන්ගේ ඇත්ත දකින්න. තමන් දිහා කණ්ණාඩියකින් බලන් ඉන්න මිනිස්සු අකමැතියි කියලා. මොකද මිනිස්සු දන්නවා තමන්ගේ ඇත්ත ස්වභාවය බලන් ඉන්න බැරි තරම් කැතයි කියලා. ඒ නිසා කිසිම ප්‍රශ්ණයක් නැහැ. මම කිව්වේ මගේ කතාව.

ටික දවසකින් ඇඳිරිනීතිය නැති වේවි. ආයෙමත් අපි පුරුදු ජීවිත වලට හුරු වේවි. ටික ටික ගෙදර අමතක වෙලා පාරේ ඉන්න වෙලාව වැඩි වේවි. නැවතිලා ලෝකය දිහා බලපු එක හීනයක් ගාණට අමතක වේවි. හැබැයි මතක තියාගන්න. ලෝ ඔෆ් නේචර් එකෙන් මේ කියාදුන්න අන්තිම පාඩම සහ ලැබුණු අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්.