අනුන්ගේ කුණු ගොඩක් මගේ වත්තට ගෙන අවුස්සා බැලීම ගෙන මුලින්ම මා තුල ඇතිවන්නේ ලැජ්ජාවකි. එහෙත් ඒ ලැජ්ජාවට වඩා ඒ කුණු ගොඩ දැකීමෙන් මා තුල ඇතිවූ චිකේ… හැඟීම පිට දමනු පිණිස මෙය මෙසේ ලියා තබන්නෙමි.

මා එදා පටන් විවාහ උත්සව වලට කැමැත්තක් දැක්වූයේ නැත. එය කිසිදා මඟුල් ගෙදරකට අප සමග නොයන අප්පච්චිගේ ආභාෂයෙන් ආ දෙයක් නොව, අවුරුදු කිසිපයක් පමණ එම ශ්‍රේස්ත‍්‍රයේ විවිධ කටයුතු හා සම්බන්ධව වැඩ කල නිසා ලැබූ අත්දැකීම් නිසා මා තුල ඇති වූ පිළිකුලකි. අදටත් මා දුටු සුන්දර විවාහ උත්සව හතරක් ඇත. එකක් මා දෙවැනි මනමාලයා වූ මීගමුවේ රාධිකාගේ ක‍්‍රිස්තියානි වෙඩිමයි, දෙවනුව මා මිත‍්‍ර චරිතගේ කෙටි කාලයකින් නිමා වූ වෙඩිමයි. අවසානය මා පිටරටදී පොටෝ ගැසීමට ගිය සරල වෙඩිමයි.

බොහෝමයක් විවාහ උත්සව මගහරින මා ඉතාමත් කිට්ටුම කෙනෙක්ගේ වෙඩිමකට පවා බොහෝ වේලාවට යන්නේ ඩෙනිමක් සහ ෂර්ට් එකකින් සරසීය. ඊට හේතු ලෙස මා පවසන්නේ,

“ඔබට අවශ්‍යය වැදගත් ඇඳුමක් නම් මා මාගේ කෝට් එක ගෙනැවිත් පුටුවේ එල්ලා යන්නම්, නමුත් ඔබට අවශ්‍යය මාගේ පැමිණීම නම් මා එන්නේ මේ ආකාරයෙනුයි” යනුවෙනි.

අවුරුද්දකට දෙතුන් වතාවක් දකිනා පිරිසක් එක් දිනක් සතුටු කිරීමට දෙදෙනෙක් වසර 10ක ණයක් ගෙන තවත් එහි ඇති අඩුපාඩු ගෙන විවේචනය කරනවා අසා සිටීමට ඇති ආසාව වෙඩිමක් ලෙස මා දකී.

එවැනි දැක්මක් ඇති මාගේ නෙත ගැසුණු මෑත කාලයේ විශේෂ විවාහ උත්සවයක් වන්නේ පුබුදුගේ සහ මාෂිගේ විවාහ උත්සවයයි. මාෂිගේ ජායාරූප දකින හැම විටෙකම මා තුල හටගත් ඒ සුන්දර යුවතියගේ ප‍්‍රතිරූපය බිඳ දමන්නට විනාඩි 10ක වීඩියෝවකට හැකි වෙතැයි මා කවදාවත් සිතුවේ නැත.

අපට දෙයක් ලස්සනට සුළුවෙන් කර වැඩක් නැත. ආදරය වුවත් ලෝකයම දැකිය යුතුය. එසේ ලෝකයා දකින්නට ගන්නා වෙඩිම තුල අද්විතීය රංගනයක් තිබිය යුතුය. තමන්ගේ හැම හැසිරීමක්ම ඉතා අවධානයෙන් කල යුතුය. සමහර දෙනා භෞතික දේවල් වලින් තමාගේ වටිනාකම පෙන්වීමට යන ආකාරය ඔබ දැක ඇත. ඒ තමන්ගේ කිසියම් අඩුවක් හෝ තමන්ගේ දුර්වලතාවයක් වැසීම සඳහාය. මනමාලියගේ හැසිරීම මදක් අධ්‍යයනය කරන්න, ඊස්ට් දමා පිම්බූ පාන් ගෙඩියක් වැනි ප‍්‍රතිරූපයක් ඔබට පෙනෙනු ඇත. ඇයගේ වරදක් නැත. තවමත් ජීවිතය ඉගෙනගන්නා ඇයට හරි පාර පෙන්වීමට ඇගේ ස්වාමියා කෙලින් සිටිය යුතුය. අවාසනාව නම්, මනමාලයාගේ චරිතයට වඩා පුබුදු රඟපෑවේ සිනමාවේ මෙන්ම සහාය නළුවාගේ චරිතයක්ය. ඔහු ඇයටත් වඩා ෆේක්ය.

මිනිහෙක් ජීවිතයේ එක් පාඩමක් උගත් කල එය හොඳින් මතක තබාගත යුතුය. එහෙත් සාරංග කලේ තොවිලයක් වැනි විකාරයක් කරමින් තවත් එයට උල්පන්දම් දීමය. මේ සර්ප‍්‍රයිස් නැටුම ඇත්තටම මට ජීවිතයේ වැදගත් පාඩමක් විය. අනුන්ගේ පවුල් කැඩූවන්, නාකි වන තෙක් විවාහය ගෙන හීනෙන්වත් නොසිතූවන්, දුක දරා ගන්නා හැටි කියා දෙන මෙන් මිය ගිය ආත්ම වලින් කන්නලවු කෙරූවන්, බලවතුන් හා නිදි වැද වාසි අත්පත් කරගත් අය වැනි නොයෙකුත් අය දෙදෙනෙකුගේ යුග දිවියට සුභ පතා සර්ප‍්‍රයිස් ඩාන්ස් දැමීම තරම් උපහාසයක් තවත් නැති තරම්ය.

ජෙහාන් පැවසූ පරිදි මේ සිස්ටම් එකේ ඇති වැරැද්ද මේකය. සාස්තරේ නොදත් අය විසින් මේක තමයි පිළිවෙල යැයි දෙයක් කියූ පමණින් එය ෆලෝ කරන ලක්‍ෂ 7ක පමණ පිරිසක් ඇත. එය ඉතා කෙටි කාලයකට දිරවූවත්, පසුව කාටවත් එය දිරවන්නේ නැත. මක් නිසාද යත් එය ස්වාභාවික නොමැති නිසාවෙනි. එදා මාෂිගේ රඟපෑම අන්තිම සවුත්තුය. ඇගේ රූපයට වඩා ඉක්මවා ගිය බොලඳ කමක් සහ අනුවණ කමක් ඇය තුලින් මට දිස්විය. මාගේ සිත ඒ ෆේක් ගතිය පිළිගත්තේම නැත. ඈගේ රූපය ගෙන මා ඇතිකරගත් ප‍්‍රතිරූපයට වඩා ඈගේ ඒ සිඟිති හැසිරීම ප‍්‍රභල විය.

අවසානයේ මා තේරුම්ගත් එක සත්‍යයක් විය. මා හට රූපෙන් අඩු තරුණියක් හා ජීවත් විමට හැකියාව ඇත. එහෙත් මේ වැනි මෝඩ හැසිරීම් ඇත, පරිණාමය නොවන මට්ටමේ අදහස් ඇති පටු තරුණියක් හා විසීම තබා ආශ‍්‍රය කිරීමවත් කල නොහැකි බවයි. මේ දීගයට වැඩි ආයුෂ නැති බවක් මාගේ හිත කෑගසා කියයි. ඒ කුහකකම වත්, ජරා ගතියවත් නොව, ජීවිතයේ විවිධ දේ දැක ඇති මාගේ හෘදසාක්‍ෂීයේ වචනයයි. ඔබත් ඉදිරියේදී විවාහ උත්සවයට මා හට ඇරයුම් කරන්න බලාපොරොත්තු වන්නේ නම් මාගේ එක් ඉල්ලීමක් ඇත. කරුණාකර මෙවැනි දේවල් වලට ඔබ ආශා නම්, මා හට ආරාධනා කිරීමෙන් වලකින්න. එය අප දෙපාර්ශවයටම කරන සත්කාරයකි.